පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට ඉදිරිපත්වූ රොෂාන් රණසිංහ වැඩි මනාප අරගෙන පාර්ලිමේන්තුවට ගියා. ඔහු දැන් අමාත්‍යවරයෙක්. ව්‍යාපාරිකයෙක් වගේම අමාත්‍යවරයෙක් විදිහට ජනප්‍රිය ඔහු ගැන කතා කරන්න සුදුසුම කෙනා තමයි ඔහුගේ ආදරණිය බිරිඳ. ඇය දිනුෂා රණසිංහ. අපි ඇයත් එක්ක කතාබහක නිතර වුණා ඔවුන්ගේ අලුත් තොරතුරු හා ආගිය තොරතුරු ගැන කතා කරන්න. මේ ඒ ගැන තොරතුරුයි.
අමාත්‍ය ධුරයක් ඔබේ සැමියාට ලැබුණු නිසා ඔබත් ඔහු වගේම කාර්යබහුල ඇති නේද..?
ඇමතිතුමා වගේම මමත් කාර්යබහුලයි. ඊට හේතුව මම ඔහුගේ පුද්ගලික ලේකම් වීම නිසා. අමාත්‍යංශය අලුත් නිසා සියල්ලම අධ්‍යනය කරන්න ඕන. ආඥා පනත් ගැන දැනුවත් වෙන්න ඕන. මේ හැම දෙයක් එක්කම මමත් ඔහුගේ පසුපසින් ඉන්නවා. ඒ නිසා කාර්යබහුලයි. මවක් විදිහටත් බිරිඳක් විදිහටත් වගකීම් ඉටු කරන්නත් ඕන. එහෙම බලද්දී නම් දැන් විවේකයක් නැති තරම්. දවස ගෙවෙනවා තේරෙන්නෙවත් නැහැ.
කාලයක් ව්‍යාපාර එක්කත් කාර්යබහුල වුණා නේද..?
අපි විවාහ වෙනකොට තමයි ව්‍යාපාර කටයුතු දියුණු වෙමින් තිබ්බේ. ඒ නිසා ඒ කාලේ ඉදලම කාර්යබහුලකම අපේ ජිවිතේ තිබ්බා. නමුත් මේ තරම් කාර්යබහුල වුණේ දේශපාලනය නිසා තමයි.
ඔබට ඔහුව මුණගැහෙන්නේ වෙනත් රටක, ඒ කාලේ ඔබ ගුවන් සේවිකාවක් කියලා ආරංචියි..?
රොෂාන් ව්‍යාපාර කටයුතු කළේ ජපානයේ. එයා ව්‍යාපාර පටන් ගද්දි එයාගේ වයස අවුරුදු 23යි. මම එතකොට උසස්පෙළ විභාගය කරලා ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කළා. ඒ අතරතුර තමයි ජපානයේ යන්නේ. මාත් එක්ක යාලුවෙක් හිටියා. එයා මාර්ගයෙන් තමයි මට රොෂාන්ව හඳුනා ගන්න ලැබෙන්නේ. එදා ඔහු හොඳට කතාබහ කළා. ඒ කතාබහ එහෙමම අවසන් වුණා. දවසකට මුණගැහුණු පුද්ගලයෙක් කියලා හිතලා සමු දුන්නේ.
නමුත් ඔහුම ජිවන සහකරු කරගන්නවා නේද, ඒ අහම්බය ගැනත් මතක් කරමු..?
ඔව්. ඒ අත්දැකීම නම් මට අහම්බයක් තමයි. රොෂාන් මගේ යාළුවාගෙන් අපේ ගෙදර දුරකථන අංකය ඉල්ලගෙන අම්මට කතා කරලා මම ෆ්ලයි කරලා ලංකාවට යන්න කලින් එයා ලංකාවට ගිහින්. ඒ වෙද්දී මම අම්මට රොෂාන් ගැන කියලා තිබ්බේ. හොඳ ගතිගුණ තියෙන පුද්ගලයෙක් මුණගැහුනා කියලා. ඒ නිසා අම්මට රොෂාන්ගේ නම මතක තිබ්බා. එයා ගෙදර ගිහින් මගේ අම්මගෙයි සහෝදරයා හා සහෝදරියන් දෙන්නා එක්ක කතාබහ කරලා එයාලගේ හිත දිනාගෙන තිබ්බා. මම ගෙදර ගියාට පස්සේ දැනගත්තා රොෂාන් ආවා කියලා. ඊට පස්සේ ඉතිං අපි දෙන්නා පෙම්වතුන් වුනා.
නාදුනන රටකදී මුණගැහුණු නාදුනන පුද්ගලයා එක්ක සම්බන්ධයක් පවත්වනවාට දෙමාපියන් විරුද්ධ වුනේ නැද්ද..?
මම පවුලේ වැඩිමහල් දරුවා. ඒ නිසා මට ගෙදර වගකීම දැනුනා. මගේ තාත්තා නාවික හමුදාවේ සේවය කරලා ලංකාවේ සේවයෙන් ඉවත් වෙලා ඕමාන් නාවික හමුදාවට බැඳුනා. ආර්ථිකය ශක්තිමත් කරන්න හිතාගෙන. ඒ නිසා තාත්තා ගෙදර හිටියේ නැහැ. පොඩි කාලේ ඉදලම ඒ නිසා මම වගකීම් දරන්න පුරුදු වුණා. විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙනකල් ගුවන් සේවිකාවක් විදිහට සේවය කලෙත් ඒ නිසයි. පුංචි කාලේ ඉදලා වගකීම් දරපු නිසා කාත් එක්කද කතා කරන්නේ සම්බන්ධකම් පවත්වන්න ඕන කොහොමද කියන අවබෝධය මා තුල තිබ්බා. ඒ අවබෝධය මත තමයි රොෂාන්ව ආශ්‍රය කළෙත්. රොෂාන් කියන්නේ බොහොම හොඳ ගති ගුණ තියෙන පුද්ගලයෙක්. මම හිතන්නේ මගේ හිත ඔහුට කැමති වුණේ ඒ නිසාම තමයි. ඔහු හොඳ පුද්ගලයෙක් නිසා මගේ දෙමාපියන්ගෙන් ආශීර්වාදය ලැබුනා. ඔහුගේ දෙමපියන්ගෙනුත් ආශීර්වාදය ලැබුණා. මම නීති පිඨයට ඇතුලත් වෙලා වසර තුනකට විතර පස්සේ අපි විවාහ වුනා. නීති අවසන් විභාගය කලේ විවාහ වෙලා.
විවාහ වුණත් ව්‍යාපාර කටයුතු නිසා දෙපත්තකද හිටියේ..?
එයා රටවල් දෙකේම හිටියා. 2005 අවුරුද්දේ ජපානයේ ස්ථිර පදිංචිය හා ව්‍යාපාරය ස්ථිර කරගත්ත නිසා රොෂාන් නිතරම එහෙ ගියා. මමත් රටවල් දෙකේම හිටියා. ඒ කාලේ හරිම වෙහෙසකරයි. දරුවන්ගේ වැඩයි ව්‍යාපාර වැඩයි එක්ක.
ව්‍යාපාර හා දේශපාලනය එක්ක දෙමාපියන් කාර්යබහුල වෙද්දී දරුවෝ දොස් කිව්වේ නැද්ද..?
පුතාගේ වයස දැන් අවුරුදු 18යි. එයා ෂේන් රණසිංහ, ලොකු දුව ෂෙනාලි වයස අවුරුදු 16යි. චුටි දුව සාරා. එයාගේ වයස අවුරුදු 13යි. මේ දරුවෝ ජිවත් වුණේ කාර්යබහුල පරිසරයක. මම රොෂාන්ගේ වැඩවලට උදව් කරද්දී මගේ දරුවෝ බලාගත්තේ මගේ අම්මා. එයා තමයි අපිට හිටිය ලොකුම ශක්තිය. මම කවදාවත් පිට කෙනෙක් ලග මගේ දරුවෝ තිබ්බේ නැහැ, නිතරම දරුවන්ට ඇත්ත තත්ත්වය පෙන්නලා දුන්නා. ආදරෙන් හැමදේම පහදලා දුන්නා. ඒ නිසා දරුවෝ බොරු කරලා අකීකරු වුනේ නැහැ. ඒ වගේම නීතිරීති දැම්ම දවස් තියෙනවා.
පුතා අවුරුදු පහේදී ඒ කියන්නේ 2010 වර්ෂයේදී රොෂාන්ගේ කටවුට් එකක් දැකලා මගේ අම්මගෙන් අහලා තියෙනවා තාත්තා හැම තැනම එල්ලිලා ඉන්නේ පිස්සුද කියලා. ඒ වගේ අවස්ථාත් නැතුවම නෙමෙයි. කොහොම නමුත් දරුවෝ ජිවිතේ ගැන අවබෝධයෙන් ඉන්න නිසා තවම නම් බරපතල විදිහට චෝදනා කරලා නැහැ.
ඔහු සරුසාර ව්‍යපාරිකයෙක්, මුදල් නිසා දේශපාලනයට අවතීර්ණ වුණා කියලා කෙනෙක්ට නොහිතෙන්න පුළුවන්. නමුත් බලය නතු කරගන්න ඔහු දේශපාලනයට අවතීර්ණ වුනා වෙන්න පුළුවන් නේද ..?
ව්‍යාපාර එක්ක කාර්යබහුල වෙලා හිටිය රොෂාන් 2007 වර්ෂයේ තමයි එයා මට එයාගේ ඒ අදහස කිව්වේ. එයා මට කිව්වා මම දේශපාලනයට සම්බන්ධ වෙනවා කියලා. ඒ වචන ටික ඇහෙද්දී ඇත්තටම මම පුදුම වුණා. ඒ මොහොතේම මම ඔහුට විරුද්ධ වුනා. මගේ පාර්ශවයේ වැඩිහිටි කිහිප දෙනෙකුගෙන් ඒ ගැන මම ඇහුවා. ඒ හැමෝම කිව්වේ ව්‍යාපාර සාර්ථක වෙලා හොඳට සල්ලි තියෙද්දී ඇයි මේ නිකන් දේශපාලනයට සම්බන්ධ වෙලා කුණු ගාගන්නේ කියලා. ඒ වෙනකොටත් එයාට දේශපාලනයට ආරාධනා ලැබිලා තිබ්බේ. මම වසර දෙකක්ම ඔහුගේ ඒ යෝජනාවට අකමැති වුණා. එයා දවසක් මට කිව්වා නිදහස් අධ්‍යාපනය ලබලා මම මගේ ජිවිතේ හදාගත්තා. ව්‍යාපාර දියුණු කළා. ඒ නිසා දේශපාලනයට අවතීර්ණ වෙලා රටට සේවයක් කරන්න මට ඕන කියලා. ඒ වචන ටික මගේ හිතට වැදුණා. ඒ වගේම දවසක් රොෂාන්ගේ යාලුවෙක් මුණගැහුනා. එයා රොෂාන්ට කිව්වා උඹ කොහොම හරි උඹේ ටාර්ගට් එකට ගියා නේද කියලා. ඉස්සර ඉස්කෝලේ යන කාලේ එක බස් එකක් මිස් වුනොත් ඊලග බස් එක එනකල් පැය දෙකක් විතර ඉන්න ඕනලු. ඒ දවසක තමයි රොෂාන් කියලා තියෙන්නේ කොහොම හරි රට ගිහින් බිස්නස් එකක් කරලා දේශපාලනයට ඇවිත් ජනතාවට සේවය කරනවා කියලා. එතකොට එයාගේ වයස 18ක්. ඉතින් මම කල්පනා කළා ඇයි මම එයාගේ හීනෙට බාධා කරන්නේ කියලා. අවසානයේ මම ඔහුව වැළැක්වුවා කියලා ඔහුට හිතෙයි ඒ නිසා දේශපාලනයට යන්න කිව්වා. ඒ විදිහට තමයි රොෂාන් එයාගේ ගමන පටන් ගන්නේ. රොෂාන්ට මුල්‍යම ගැටලුවක් නැහැ. බලයත් අවශ්‍ය නැහැ. ඔහුට අවශ්‍ය ජනතාවට සේවය කරන්න විතරයි. ඔහු පවුලට විතරක් නෙමෙයි හැමෝටම හොඳ මනුස්සයෙක්. ඔහුගේ ගතිගුණ තමයි ඔහුව මෙතරම් දුරක් රැගෙන ආවේ කියලා මම හිතනවා.
ඔහුට ලැබුණු අමාත්‍යාංශය ගැන ඔහු සෑහීමකට පත් වෙනවාද..?
රොෂාන් ජිවිතේ පටන් ගත්තේ කිසිම දෙයක් නැතුව. ඉතින් එයාගේ උනන්දුවෙන් එයාගේ ගමන ගියා. ඒ නිසාම ඔහුට සේවය කරන්න ලැබුණු අමාත්‍යංශය ගැන ඔහු සැහීමකට පත් වෙනවා. ඔහුට ඉන් ජනතාවට සේවයක් කරන්නත් පුළුවන්.