පෙර ආත්මය ගැන කියන ළමුන් ගැන, එමෙන්ම මිය යන්නට පෙර ඒ ගැන ඉඟි දෙන අය ගැනද අප අසා ඇත. එසේ මියයන්නට දින හතකට පෙර මේ ආත්මයෙන් මිදී දිව්‍ය ලෝකයට යන්නට දින ගැනපු පුංචි පුතෙක් ගැන අද ජාතික පුවත්පතක මෙසේ සටහන් විය.
"මේ ආත්මයෙන් මම යන්න යනවා. මම තව ටික දිනයි ජීවත් වෙන්නේ. මම දිව්‍ය ලෝකෙ යනවා. මේක ඇත්තටම අපායක්. අපි හොඳ වැඩ කරමු. හොඳ ළමයෙක් වෙමු.
3 වසර පන්තියේ වයස අවුරුදු 8 ක් වන කුඩා දරුවෙකුට මෙවන් සිතුවිලි පහළ වී ඒවා තම නිවසේ ඇඳ අසල බිත්තියේ පාට කුරුවලින් ලියා තබා ඊට දින හතකට පමණ පසු සියලු දෙනා කම්පාවට පත් කරමින් හදිසි අනතුරකින් මියයැම කෙතරම් දෛවෝපාගත සිතුවිල්ලක්‌ද යන්න කිව නොහැකිය.
අකුරැස්‌ස තිබ්බොටුවාව කනිෂ්ඨ විද්‍යාලය අසල අංක 26, සාගර නිවසේ පදිංචි තිබ්බොටුවාව කනිෂ්ඨ විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලැබූ පුංචි ටී. කේෂර මිත්සුක (8) පවුලේ සුරතල් දඟකාර දරුවාය. ඔහුගේ සුරතල් වදන් කළ කී දැ ඥතීන්ගේද, ඉගෙන ගත් පාසලේ ගුරුවරුන්ගේද, ඔවුන්ගේ යහළුවන්ගේද විශේෂ අවධානයට යොමු වූයේ එම දරුවා ඔහුගේ වයසට කළ කී දැ අපූරුව නිසාය. එම දරුවා සියලු දෙනාගේ ආදරයට, දයාවට, කරුණාවට ලක් විය.
පසුගිය පළමු වැනිදා කුඩා මිත්සුක පාසලට ගොස් එදා අපූරු හැසිරීම් රටාවක් පෙන්නුම් කළද, එය කිසිවෙකුට අදහා ගත නොහැකි විය. එනම් අද මම මඟුල් ගෙදරක යනවා. මම ආයෙ එන්නේ නෑ. සියලුම ගුරුවරුන්ටත් කියා වැඳ ඔහුගේ යහළුවන්ටද කියා මම මඟුල් ගෙදර යනවා. මම ආයේ එන්නේ නෑ. කියා ඇති අතර, පාසල ඇරී පාසලේ ගේට්‌ටුව අසලට පැමිණ ආනේ තව යාළුවෝ දෙන්නෙකුට කියන්න බැරි වුණා. ඒ දෙන්නාටත් කියලා එන්න ඕන. නැවතත් පාසලට ගොස් ඒ යහලුවන් දෙදෙනාටද මඟුල් ගෙදර යන බව පවසා තම නිවසට ආවේ තම ජීවිතයේ අවසන් දින කිහිපය පමණක් ගත කරන බව ඔහුට හැඟී ගියා නිසාවෙන් බව බොහෝ දෙනා පවසති.
පළමු වන දින සවස පවුලේ මවත් පියාත් පුංචි මිත්සුකත්, ඔහුගේ සහෝදරයාත්, මාතර තිබූ මඟුල් ගෙදර ගියේ බොහෝම ප්‍රීතියෙනි. එසේ ගොස් මඟුල් සතුට සමරා රාත්‍රි නැවත අකුරැස්‌සේ තම නිවසට එන අතරතුර, කිසිවෙකු නොසිතූ, නොපැතූ අයුරින් ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය අනතුරකට ලක් විය. එහිදී ඔහුගේ පවුලේ සියලු දෙනා (මව, පියා, සහෝදරයා) බරපතළ තුවාල ලබා ගාල්ල හා මාතර මහ රෝහලට ඇතුළත් කරන ලදී. පුංචි මිත්සුක දින කිහිපයක් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉතා අවාසනාවන්ත ලෙස 5 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත්තේය.
මේ වන විට අකුරැස්‌ස ප්‍රදේශයම බොහෝ සේ කම්පාවට පත් වී ඇති මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරනුයේ තමන්ගේ ජීවිතයෙන් සමුගන්නා බව කල්ඇතුව දැනගත් බව වැටහී ඔහුගේ නිවසේ බිත්තියේ ඒ බව ලියා කොළවලින් වසා තබා ඇති අතර, ඔහු මියගිය පසු එම බිත්තියේ තිබුණු කොළ කෑලි ඉවත් කිරීමෙන් ඔහු විසින් ලියන ලද මෙවන් වදන් දැකීමෙන් වඩ වඩාත් පවුලේ ඥතීන්ද පාසලේ ගුරුවරුන්ද ඔවුන්ගේ යහළු යෙහෙළියන්ද මහත් සේ කම්පාවට පත් වෙමින් හඬමින් පවසන වදන් ඇසීම දැකීම තරම් සිතට සංවේදී දසුන් දැකීමට මේ ලියුම්කරුටද සිදු විය.