දිල්ලි විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි සිසුන් සිය ගණනකට සෙවණ දුන් පස්මහල් නේවාසිකාගාරයක් ඇසිපිය හෙළන සැණින් සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, අනතුරට ලක්ව ඇත්තේ දිල්ලි සරසවිය ආසන්නයේ පිහිටි 'Hostel Daze' නමැති පිරිමි සිසු නේවාසිකාගාරයයි. වසර 40-50ක් තරම් පැරණි මෙම ගොඩනැගිල්ලේ පහළ බිම් මහලේ අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතරතුරදීයි කිසිවෙකුත් නොසිතූ මොහොතක මුළු ගොඩනැගිල්ලම එකවර බිමට කඩා වැටී ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේදී සිසුන් රැසක් සිය කාමර තුළ නිදාගෙන හෝ විවේකීව සිට ඇති බවයි වාර්තා වන්නේ. ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ සිසුන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරෙනවා.
වඩාත්ම සංවේදී පුවත වන්නේ, සුන්බුන් අතර හිරවී මරණයේ අද්දර සිටින ඇතැම් සිසුන් තම ජංගම දුරකථන හරහා පිටත සිටින යහළුවන්ට හා බලධාරීන්ට ඇමතුම් ලබා දෙමින් "අනේ අපිව බේරගන්න..." යැයි පවසමින් ජීවිතය අයැද සිටින බව ප්‍රදේශවාසීන් හෙළිදරව් කිරීමයි.
සිද්ධිය සැලවීමත් සමඟම ඉන්දියානු ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF), ගිනි නිවන හමුදාව මෙන්ම පොලිසිය එක්ව සුන්බුන් අතර සිරවූ දරුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අනතුරේ බරපතළකම සලකා බලා පූර්වාරක්ෂක පියවරක් ලෙස ඒ ආසන්නයේ පිහිටි අනෙක් නේවාසිකාගාර ගොඩනැගිල්ලේ සිටි පිරිස්ද වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. කාලයත් සමඟ සටන් වදින ගලවා ගැනීමේ කණ්ඩායම්, එක් මිනිස් ජීවිතයක් හෝ බේරාගැනීමේ අපේක්ෂාවෙන් සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල තවමත් නිරතව සිටී.