නේපාල හමුදාව සඳහන් කළේ 'අපර් ත්‍රිශූලි-1' (Upper Trishuli-1) ජල විදුලි ව්‍යාපෘතියට අයත් මීටර් 225ක් දිගැති උමගක් තුළ සිරවී සිටි 'ලූ හයිටාඕ' (Lu Haitao) නමැති මෙම චීන ජාතිකයා මෙලෙස නිරුපද්‍රිතව මුදාගත් බවයි.
පසුගිය අගෝස්තු 26 වැනිදා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශයේ හිමකඳක් (Glacier) කඩාවැටීමත් සමඟ හදිසි ගංවතුරක් හටගත් අතර, ප්‍රදේශයේ පිහිටි ජල විදුලි ව්‍යාපෘති උමං මාර්ග තුළ පුද්ගලයින් 900 දෙනෙකු පමණ සිරවී සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ. එම උමං මාර්ග තුළින් මෙතෙක් පණපිටින් මුදාගත් තෙවැනි පුද්ගලයා වන්නේ මෙම චීන ජාතිකයායි.
ඊයේ දිනයේදී ද එම ගඟේම පිහිටි 'අපර් ත්‍රිශූලි 3A' ජල විදුලි මධ්‍යස්ථානයේ උමගකින් පුද්ගලයින් දෙදෙනෙකු පණපිටින් මුදාගැනීමට මුදවාගැනීමේ කණ්ඩායම් සමත් වුණා.
මුදාගත් චීන ජාතිකයාගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොතිබූ අතර, ශරීර උෂ්ණත්වය අඩුවීමේ (Mild Hypothermia) ලක්ෂණ හැරුණු විට ඔහුගේ ශාරීරික තත්ත්වය යහපත් මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. අධික ලෙස වෙහෙසට පත්ව සිටි ඔහුව හමුදා හෙලිකොප්ටර් යානයක් මගින් වහාම හමුදා රෝහලක් වෙත යොමුකර තිබෙනවා.
චීනයේ ටිබෙට් සීමාවට ආසන්න නේපාලයේ නගර සහ ගම්මාන රැසක් ගංවතුරට සහ මඩපහරට හසුවීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 1,344 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය පවසනවා. එමෙන්ම විදේශිකයින් 583 දෙනෙකු ඇතුළුව තවත් 4,887 දෙනෙකු තවමත් අතුරුදන්.
මේ අතර, මායිම් පාලමෙන් ඔබ්බෙන් පිහිටි චීනයේ ටිබෙට් කලාපයෙන් ද මරණ 31ක් වාර්තා වී ඇති අතර, විදේශිකයන් 261 දෙනෙකු ඇතුළුව තවත් 531 දෙනෙකු අතුරුදහන්ව සිටින බවයි චීන රාජ්‍ය මාධ්‍ය සේවය වන 'සින්හුවා' වාර්තා කරන්නේ.
මූලාශ්‍රය - රොයිටර්ස්