ඒ හීනය වෙනුවෙන් ජීවත් වෙන ඒ හීනයට අසීමාන්තිකව ආදරය කරන ඇතැම් දරුවන්ට කාලගුණය හරස්වුණ අවස්ථා ගැන දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අපට වාර්තා වුණා.. මේ කියන්න යන්නේ අන්න ඔවුන් ගැන ඇසෙන තවත් පුවතක්..
අධික වර්ෂාව හේතුවෙන් ඊයේ උදෑසන වන විට යාපනය මන්නාරම මුලතිව් කිළිනොච්චිය හා වවුනියාව යන පළාත්වල පවුල් දස දහසකට පමණ උන් හිටිතැන් අහිමි වී ගොස් තිබුණා..
විපතට පත් පවුල් වහාම ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට යුද හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්, පොලිසිය, ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, උසස් පෙළ ලියන්නට ගංවතුර සමග පොර බදන දරුවන්ටත් හමුදාවේ උපකාර ලැබී තිබුණා..
විපතට පත් පුද්ගලයින්ට පිසූ ආහාර සපයා දීමට ඒ ඒ පළාත්වල දිසාපතිවරුන් කඩිනම් පියවර ගෙන ඇතත් ආහාර පිසීමේ කටයුතු සිදු කිරීමට මහා වර්ෂාව විශාල බාධාවක් වී තිබුණා.. එසේම වවුනියාවේ පේරාරු ජලාශය පිරී ඉතිරී වාන් මට්ටමට පැමිණීමත් සමගම එහි ප්‍රධාන දොරටු දෙකක් විවෘත කර ඇති අතර, එම ජලාශයේ වාන් ජලය පහත් බිම්වලට ගලා යාම නිසා නිවාස ගණනාවක්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වෙන්නේ..
මුලතිව් වට්ටුවාකල් පාලම කැඩී ගොස් කලපුවේ ජලය පාලම මතින් ගලා යන්නට පටන් ගැනීම නිසා මුලතිව් දක්වා යන මාර්ගය වැසී ගොස් තිබුණා... වාහන ගමනාගමනයට විශාල බාධාවක් එල්ල වී ඇති අතර, මුලතිව් හා කිළිනොච්චි පළාත්වල වැව් පිරී ඉතිරී වාන් දැමීම නිසා වාන් ජලයෙන් මහා මාර්ග යට වී තිබෙනවා..
මේ නිසා ගම්මාන හා නගර අතර තිබූ සම්බන්ධකම් බිඳවැටී ඇති අතර, මේ තත්ත්වය මත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට එම ගම්මානවල වැසියන්ට නිසි තැනක් නොමැති වී ගොස් තිබෙනවා.. අධික වර්ෂාවට හසු වූ උතුරේ වැසියන්ට අයත් හරකුන් එලුවන් හා කුකුළන් විශාල ප්‍රමාණයක් ජලයේ ගසා ගෙන ගොස් තිබුණා..
කෙසේ වෙතද්ත්, පුරා සතියක් තිස්සේ උතුරු පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මෙතෙක් අවසන් වී නැහැ.. 25 දා අලුයම් කාලයේ සිට එම වර්ෂාව තවත් වැඩි වී තිබෙනවා..
අධික වර්ෂාව මධ්‍යයේ අපොස උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සිදුව ඇති නිසා විභාගයට පැමිණීමට නියමිත සිසුන් විභාග මධ්‍යස්ථාන කරා නියමිත වේලාවට රැගෙන යාමට උතුරු ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන් හා පොලීසිය පියවර ගෙන තිබූ අයුරුත් දැකගන්න ලැබුණා...
