"සෝනියා දිසානායක " කියන්නේ හැට හැත්තෑව දශකයේ රිදී තිරයේ සිටි ආදරණිය පෙම්වතියක්. බොහෝ නිර්මාණවලට සිය රංගන හැකියාව ලබා දුන් ඇයව ඒ කාලවකවානුවේ නැතුවම බැරි නිළියක් බවට පත් වුණා. අදටත් බොහෝ දෙනාගේ මතකයේ රැදී සිටින ඇය යළිත් වසර 20කට පසුව රංගනයට පිවිසිලා. ඒ කාලයේ ආර්ථිකය හොද මට්ටමින් තිබුණු ඇය අද ජිවත්වෙන්නේ කොහොමද කියලා පුවත්පතකට කතා කරලා තිබුණා. මේ ඒ ගැනයි.
මේ වෙනකොට ඔබ නැවතී සිටින්නේ කොහෙද?
මම දැන් ඉන්නේ පැපිලියානේ, ශ්‍යාමලී විජේසේන කියන හිතවතියකගේ නිවසේයි. මට නිවසක් නැතුව ඉන්න බව දැනගෙන නිල්ශාන් සෙනෙවිරත්න හා ජාතික රූපවාහිනියේ විනීතා තමයි මට ශ්‍යාමලීව හඳුන්වලා දුන්නේ. ඇයට පින් සිදුවෙන්න මම දැන් එහේ නැවතිලා ඉන්නවා.
නිළියක්, නිෂ්පාදිකාවක් විදියට දශක ගණනක් වැජඹුණු සෝනියාට ඇයි මෙහෙම වුණේ?
මගේ පුතා උදයයි, මගේ දුව බුහුටියි. දෙන්නම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. කරුගේ මරණයෙන් පසුව මම දරුවෝ ළඟ තමයි හිටියේ. දරුවෝ කැමතියි මම දිගටම එහේ ඉන්නවට. ඒත් මට ඉඳහිට හෝ ලංකාවට එන්න ඕනෑ. ඒ ආවාම ඉන්න මට තැනක් නෑ. අද වෙද්දී මගේ නිවස මට අහිමි වෙලා.
ඔබේ නිවස අහිමි වීම පිළිබඳ ප්රශ්නය මේ වන විට නීතිය හමුවට පවා ගොස් තිබෙනවා. ඇත්තටම මොකක්ද ඔතන වෙලා තියෙන්නේ?
මම විවාහ වෙලා පදිංචියට ආවෙ කොම්පඤ්ඤවීදියේ පිහිටි කරුගේ මහ ගෙදරට. ඉන් පසුව අපි කළුබෝවිල අලුත් නිවසක් හදලා පදිංචියට ගියා. අපි හිටපු කොම්පඤ්ඤවීදියේ නිවස වහලා තියෙන නිසා කලා ලොවේ හිතවතකු වන යසපාලිත නානායක්කාරගේ ඉල්ලීම පිට එක්තරා වාමාංශික දේශපාලනඥයින් දෙදෙනකුගේ කාර්යාලය පවත්වාගෙන යන්න ඉඩ දුන්නා. පසු කාලයේ ඒ දෙදෙනා අතර විරසකයක් ඇතිවෙලා ඉන් එක දේශපාලනඥයකු දැන් මේ නිවසේ ඉන්නේ. මම ආයෙම නිවස ඉල්ලුවාට ඔහු එය මට දෙන්නේ නැහැ. සතයක්වත් අය නොකර මම ඔවුන්ට ඒ නිවස දුන්නේ අවශ්‍ය දවසක ආයෙම දෙයි කියන විශ්වාසයට. ඒත් අද මගේම නිවස ලබාගන්න මට නීතිය ඉදිරියට යන්න වෙලා. නඩු තීන්දුව ලැබිලා නිවස හිමි වන තුරු තමයි මට අද තැන තැන ඉන්න වෙලා තියෙන්නේ.
ඔබේ ප්රශ්නයේදී සහෝදර කලාකරුවන්ගෙන් හිතවතුන්ගෙන් උපකාර ලැබුණාද?
මාලනී, රවී, ජීවන්, ෂෙරින්, නදීකා, අනෝජා වගේ අය මගේ නඩුව වෙලාවේ ආවා. ඒත් ඉතින් මේ රටේ බලධාරීන් මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා නම් මේකට විසඳුමක් ගන්න පුළුවන්. මම 1962 ඉඳන් රඟපානවා. සිනමාව කඩා වැටුණු යුගයක ආදායම් වාර්තා තියෙන චිත්‍රපට හදලා මම සිනමාව නගා සිටුවන්න උදව් කළා. මේ වෙද්දී චිත්‍රපට 150ක විතර රඟපාලා තියෙනවා. ‘ඔබට දිවුරා කියන්නම්’ ‘දෙව්දුව‘ චිත්‍රපටවලට හොඳම සහය නිළිය ලෙස සම්මාන පවා දිනා ගත්තා. දේශපාලන ක්ෂේත්රයෙත් දන්න හඳුනන අය ඉන්නවා. ඒත් මම අසරණ වුණු වෙලාවට ඊට මැදිහත් වෙලා මේ ගැටලුවට විසඳුමක් දෙන්න කෙනෙක් නැහැ.
අවුරුදු 20කට පස්සේ මොකද ආයෙමත් රඟපාන්න ඕන කියලා හිතුණේ?
මම අන්තිමටම රඟපෑවේ “පිස්සු පූසෝ” චිත්‍රපටයේ. ඊට පස්සේ කිසිම රඟපෑමක් කළේ නෑ. නිහඬව සිටි කාලය අවුරුදු 20ක්. දයාරත්න රටගෙදර මහතා තමයි මට මේ ආරාධනය කළේ. එතුමා අධ්‍යක්ෂණය කරන පොහොය ටෙලි නාට්‍යයෙ මුඩුක්කු කාන්තාවකගේ චරිතයක් තමයි මම රඟපෑවේ. එය ලබන පොහොය දින විකාශය වේවි. මම ආයිත් ලංකාවෙන් යන්නෙත් නැහැ. මගේ නිවසේ ප්රශ්නය විසඳාගෙන මම හදපු ගෙදරට යන්නයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ දිගටම රඟපෑමේ යෙදෙන්න තමයි කැමති.