වාරියපොළ බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධියත් සමඟ ප්‍රසිද්ධියට පත්වූ තිළිණි අමල්කා තරුණියට කුරුණෑගල බස් නැවතුම්පොලේදී පහරදීමක් සිදුකර උසුළු විසුළු කළ තවත් තරුණයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් තරුණයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරුණා. මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේ මේ සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙසයි.
කුරුණෑගල - පොල්ලත්තපිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකුයි මෙලෙස අධිකරණය මඟින් ඇපමත මුදාහැර ඇත්තේ. එමෙන්ම, මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් තරුණයින් 04 දෙනාගෙන් දෙදෙනෙකුගේ නම් අනාවරණය කරගෙන ඇති බවද කුරුණෑගල පොලිසිය කියා සිටියා.
කෙසේ වෙතත්, ඊයේ (06) දිනයේදී වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තිළිණි අමල්කා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඇය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
වාරියපොළ බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව තිළිණි අමල්කා රුපියල් මිලියනයක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනුකළා.