එකම රැයක නිදි පැදුරේදී කුඩා දරුවන් දෙදෙනකුටම විෂඝෝර සර්පයකු දෂ්ට කිරීමේ අනුවේදනීය සිද්ධියක් ඉබ්බාගමුව, කිරිබමුණ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
දරුවන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත ජීවත් වීමේ වාසනාව ලබා මේ වනවිට නිවෙස වෙත පැමිණ ඇති නමුත් ඔවුන් ජීවත් වෙන්නේ පොල් අතු පැළලි වලින් වට කළ කුඩා පැල්පතක වන බැවින් නැවත කිසියම් මොහොතක එවැනි අවාසනාවන්ත ඉරණමකට මේ අහිංසක දරුවන් ගොදුරු වීමේ දැඩි අවදානමක්ද පවතිනවා.
එච්. එම්. අකලංක සංජීව හා ඔහුගේ නැඟණිය වන එච්. එම්. යසුරි කවීෂා මේ දරුවන් දෙදෙනායි. අකලංක දරුවා ඉබ්බාගමුව කිරිබමුණ ප්‍රාථමික විද්‍යාලයේ හතර වසර අධ්‍යාපනය ලබන අතර නැඟණිය වන යසුරි කවීෂා එම විද්‍යාලයේම දෙක වසර පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටිනවා.
පොල් අතු පැළලිවලින් වටවූ පැල්පතේ මව හා පියා සමඟ තද නින්දේ පසුවෙද්දී ඔවුන් සමීපයට පැමිණි කරවලයකු මෙම දරුවන් දෙදෙනාට දෂ්ට කර තිබුණා.
එම වේදනාකාරී මොහොත සිහිපත් කරමින් දරුවන්ගේ මව චම්පිකා කුමාරි පැවසූ කතාවයි මේ.
"ඒ වෙලාවෙ පාන්දර දෙකට විතර ඇති. පුතා එකපාරටම කිව්ව දුව එයාව කෙනිත්තුවා කියලා. ඒත් දුව හිටියේ නින්දේ. ඊට ටික වෙලාවකට පස්සේ දුව අඬන්න ගත්තා පුතා කෙනිත්තුවා කියලා. නමුත් දෙන්නම කියනවා කෙනිත්තුවෙ නෑ කියලා. ඊට පස්සේ මට කකුලට සීතලක් දැනුණා. මම ඉක්මනට නැඟිටලා ලයිට් එක දාලා බැලුවා. එතකොට කළු පාට ලොකු සර්පයෙක් එළියට යනවා දැක්කා. අපිට ඌව මරන්න බැරි වුණා. ඌ එළියට ගියා. දරුවෝ දෙන්න කෙනිත්තුවා කිව්වේ දෙන්නටම ඌ දෂ්ට කරලා කියලා දැනගත්ත ගමන් අපි දරුවන් දෙන්න අරන් පාරට ආවා. එතකොටම වෙලාවට වගේ මෝටර් සයිකලයක් ආවා. අපි ඒකට අත ඇල්ලුවම ඒක නතර කළා. කාරණය කිව්වම ඒ කෙනා දරුවො දෙන්නයි මහත්තයයි තියාගෙන අරන් ගියා.“
දරුවන් රැගෙන පළමුවෙන්ම ගොකරැල්ල, පොල්ගොල්ල දිසා රෝහලට ගිය නමුත් ඔවුන් රෝහලට භාර නොගෙනම කුරුණෑගල රෝහලට රැගෙන යන ලෙස එහි වෛද්‍යවරයා හා රෝහල් සේවකයකු තමන්ට කී බැවින් තමන් දරුවන් දෙදෙනා රැගෙන පාරට පැමිණි - බව පියා වන එච්. එම්. බන්දුව හේරත් මහතා පැවසුවා..
කෙසේ වෙතත් මාර්ගයේ ධාවනය වූ වෑන් රථයකට අත දැමීමෙන් පසු කුඩා දරුවන් දෙදෙනකු සමඟ සිටි බැවින් ඔවුන් එය නවතා දරුවන් දෙදෙනා හා පියා ඊට නංවාගෙන තිබුණා. ඉන් පසු ඔවුන් ඉතා ඉක්මනින් දරුවන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන පැමිණ ඇති අතර එහි වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් යුතුව මෙම දරුවන් දෙදෙනාට ප්‍රතිකාර ලබා දී තිබෙනවා.
තවත් විනාඩි 30ක් පමණ ප්‍රමාද වූවේ නම් ප්‍රතිඵලය අවාසනාවන්ත එකක් විය හැකිව තිබූ බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබුණා. අවසානයේ දින කිහිපයක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීමෙන් පසු පළමුවෙන් පුතුද ඊට දින තුනකට පසුව දියණියද සුව වී රෝහලෙන් පිටව ගොස් තිබුණා.