පසුගියදා ඔහු තමන්ගේ ජීවිතේ ළඟින්ම හිටපු, ඒත් අද වෙද්දී ජීවතුන් අතර නැති විශේෂ කෙනෙක් ගැන බොහොම සංවේදී සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා. ඒ තමයි ඔහුගේ ලොකු තාත්තා.. එහෙමත් නැත්නම් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් සහෝදරයා වන අභාවප්‍රාප්ත සෙනෙක ටයිටස් ඇන්තනී මහතා ගැන.
"ආදරය තේරුම් ගන්න වයසක් අදාළ නෑ, මට වැඩියෙන්ම ආදරය කළේ මගේ ලොකු තාත්තා..." කියමින් අකිල මේ සංවේදී සටහන ආරම්භ කර තිබුණා.
චූ කොල්ලා තාත්තා සහ වීරයා ලොකු තාත්තා!
අකිලගේ පුංචි කාලේ කතාන්දරවලට අනුව, තාත්තා (ජැක්සන් ඇන්තනී) කියන්නේ නිතරම ලෙඩ වෙන පවුලේ චූ කොල්ලාලු. හැබැයි ඒ හැම වෙලාවෙම තාත්තාව ඒ ලෙඩවලින් බේරගන්න එන වීරයා වුණේ ලොකු තාත්තා (සෙනෙක ටයිටස්) කියලයි අකිල කියන්නේ. හැමෝම බය, ගෞරව කරන, ඒ වගේම හැමෝම ආදරය කරන සුන්දර මනුස්සයෙක් විදිහටයි අකිල තමන්ගේ ලොකු තාත්තාව විස්තර කරන්නේ.
රාගම පොඩිවී කුඹුරේ ඉඳන් කඩවතට ආපු කාලේ, මොන්ටිසෝරි යන වයසේ ඉඳන්ම ලොකු තාත්තාගේ අතින් දෙන රුපියල් දහය අයිති වුණේ එක්කෝ අයියට, නැත්නම් අකිලට. පවුලේ අනිත් අය වගේ කලාවට නැඹුරු නොවුණු මේ පුංචි බිස්නස්කාරයා, ඒ රුපියල් 10 අරගෙන කඩේ ගිහින් බඩු ගන්න පුරුදු වුණු හැටිත් අකිල ආදරයෙන් මතක් කරනවා.
ලොකු අම්මා පස්සේ කාලෙක අකිලට කියලා තියෙනවා, අකිල ඉපදෙද්දී ඇන්තනී පවුලේ හිටියේ අකිලගේ අක්කා විතරක් නිසාත්, අනිත් පිරිමි ළමයා විදිහට කවිඳු අයියා (ලොකු තාත්තාගේ පුතා) විතරක් හිටපු නිසාත්, අකිලගේ දඟකාරකම්වලට ලොකු තාත්තා විශේෂ ආදරයක් දැක්වූ බව.
කාලයත් එක්ක අකිලත් තරුණයෙක් බවට පත්වුණා. "මම ඉලන්දාරියෙක් වුණාට පස්සේ ලොකු තාත්තාගේ හදවතේ වැඩ මට තේරුම් ගන්න බැරි වුණා. අපි හැමදේටම හැප්පුණා..." කියලා අකිල කියන්නේ තරුණ කාලේ ලොකු තාත්තා එක්ක ඇතිවුණු ඒ මතගැටුම් ගැනයි.
නමුත් ලොකු තාත්තාගේ හදිසි වියෝවත් එක්ක, ඔහු තමන්ට කොච්චර ආදරේ කළාද කියලා අකිලට තේරුම් ගිහින් තියෙනවා. වෙන කිසිම ඥාතියෙකුට ඒ තරම් ආදරයක් දෙන්න බැරි තරම් ලොකු තාත්තා තමන්ට ආදරේ කරපු බව ඔහු කියන්නේ මහත් වේදනාවකින්.
"ඒත් ඒ ආදරේ තේරුම් ගන්නකොට ලොකු තාත්තා මං ළඟ හිටියේ නෑ... ඒත් ආදරය කියන්නේ පුදුම දෙයක්. අවංකව ආදරය කළොත් ඒක කවදාවත් අපතේ යන්නේ නෑ. පස්සේ හරි එයාලට ඒක තේරෙනවා. ඇත්තටම ආදරය කරන කෙනෙක් කවදාවත් පළිගැනීම් ප්‍රාර්ථනා කරන්නේ නෑ..." කියමින් අකිල තමන්ගේ ලොකු තාත්තාගේ මතකයන් සදහටම තමන්ගේ හිතේ තියෙන බව පවසමින් මේ සංවේදී සටහන අවසන් කර තිබුණා.