ලොව පුරා සංගීත ලෝලීන් ලබන වසරේ තිරගත වීමට නියමිත මයිකල් ජැක්සන්ගේ ජීවන කතාව රැගත් චිත්‍රපටය එනකම් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.
මෙම අවස්ථාවේදී, මීට වසර 33කට පෙර විකාශය වූ 'The Jacksons: An American Dream' මාලා නාට්‍යයේ මයිකල්ගේ තාරුණ්‍යය ඉතාමත් දක්ෂ ලෙස නිරූපණය කළ වයිලි ඩ්‍රේපර් (Wylie Draper) අපට අමතක කළ නොහැකියි.
1992 වසරේදී මෙම කතා මාලාව නිකුත් වූ විට, වයිලි ඩ්‍රේපර්ගේ රංගනය කෙතරම් තාත්වික වූවාද යත්, බොහෝ දෙනෙකුට ඔහු සහ සැබෑ මයිකල් ජැක්සන් අතර වෙනස හඳුනා ගැනීමට පවා අපහසු වුණා.
ඔහුගේ නර්තන විලාසය සහ ඉරියව් මයිකල්ට කොතරම් සමාන වූවාද යන්න අදටත් රසිකයන් අතර කතාබහට ලක්වුණු කාරණාවක්.
කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, මෙම සාර්ථකත්වයෙන් වසරකට පසුව, එනම් 1993 වසරේදී ලියුකේමියාව (Leukemia) රෝගය හේතුවෙන් වයිලි මෙලොවින් සමුගත්තා. ඔහු කෙටි කලක් තුළ කළ ඒ විශිෂ්ට රංගනය අදටත් සදාකාලික මතකයක් ලෙස ඉතිරිව පවතිනවා.
ඒ කතාව එසේ නිමවෙද්දී, ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයේ මයිකල්ගේ චරිතය නිරූපණය කරන්නේ ඔහුගේම බෑණනුවන් වන ජාෆර් ජැක්සන් විසින්.
වයිලි ඩ්‍රේපර් එදා ඇති කළ ඒ සජීවී බව සහ විශිෂ්ටත්වය නැවත වරක් තිරය මත ප්‍රතිනිර්මාණය කිරීමට ජාෆර්ට හැකි වනු ඇතැයි ලොව පුරා රසිකයෝ බලාපොරොත්තු වෙනවා.
