ප්‍රකට රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන 'Married at First Sight' (Mafs) හි උපදේශිකාවක ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත් 54 හැවිරිදි මෙල් ශිලිං, තමාට වැළඳී ඇති පිළිකා තත්ත්වය මොළය දක්වා පැතිර ගොස් ඇති බවත්, තමාට තව කොපමණ කාලයක් ජීවත් වීමට හැකි දැයි නොදන්නා බවත් මේ වන විට ඇයගේ රසිකයින්ට දැනුම්දී තිබෙනවා..
2016 වසරේ සිට මෙම වැඩසටහනේ ප්‍රධාන චරිතයක් වූ ඇය, 2023 දෙසැම්බර් මාසයේදී තමා මහා බඩවැලේ පිළිකාවකින් (Colon Cancer) පෙළෙන බව මුලින්ම ප්‍රකාශ කළා..
පසුගිය බ්‍රහස්පතින්දා සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටියේ, පිළිකාව පෙනහළු දක්වා පැතිර ගොස් දැන් ඇගේ මොළයේ වම් පසට ද පැතිරී ඇති බවයි.
"දැන් මට සරල එදිනෙදා වැඩකටයුතු පවා කරගැනීම අතිශය දුෂ්කර වී තිබෙනවා. මට තව කොපමණ කාලයක් ඉතිරිව ඇත්දැයි මම දන්නේ නැහැ. නමුත් මගේ අවසන් හුස්ම දක්වාම මම සටන් කරනවා," යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණා.
තමා මුහුණදෙන මෙම අවාසනාවන්ත තත්ත්වය හමුවේ වුවද, ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම සිරුරේ කිසියම් හෝ අසාමාන්‍ය වෙනසක් දැනේ නම්, වහාම වෛද්‍ය පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.