මේ ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ ප්‍රදේශයෙන් වාර්තා වන්නේ සිත කම්පා කරවන අතිශය අවාසනාවන්ත පුවතක්.
කරන්දෙණියේ පාසලක 9 වසරේ ඉගෙනුම ලබමින් සිටි දුල්මි සමායා සත්සරනී නමැති 15 හැවිරිදි දියණියක් සිය පියා අතින්ම ඝාතනය වී තිබෙනවා.
මියගිය දියණියගේ මව රැකියාව සඳහා විදේශගතව සිටින අතර, ඇය පියා සමඟ නිවසේ පදිංචිව සිට ඇත.
ඊයේ (30) රාත්‍රියේ නින්දට යන බව පවසා කාමරයට ගිය දියණිය, රහසින් ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටින අයුරු පියා දැක තිබේ.
ඇය ඇඳේ කොට්ටය යට සඟවාගෙන සිටි දුරකථනය ඔබමින් සිටිනු දැකීමෙන් දැඩි ලෙස උරණ වූ 40 හැවිරිදි පියා, නිවසේ තිබූ කුරුඳු කපන කැත්තක් ගෙන දියණියගේ ගෙලට දරුණු පහරක් එල්ල කර ඇත.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ දියණිය වහාම ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
දියණිය ඝාතනය කළ සැකකාර පියා ඊයේ රාත්‍රියේම ඌරගස්මංහන්දිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු අද (31) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සුළු දේකට ඇතිවූ කෝපය පාලනය කරගත නොහැකිව, සෙවණක් විය යුතු පියා අතින්ම දියණියකගේ ජීවිතය මෙලෙස අහිමි වීම සැබවින්ම දරාගත නොහැකි ඛේදවාචකයක්.