ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික නීපා වෛරසය නොසලකා නොහරින ලෙසත්, ඒ පිළිබඳව මෙරට සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවත් වෛද්‍යවරු පවසනවා.
ඒ අනුව විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීමේදී සංක්‍රමණ මධ්‍යස්ථානවල සෞඛ්‍ය උපදේශනය හා ආවේණික කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.
නීපා වෛරසය ලොව භයානකම වෛරස් රෝග 10 අතර වන බව සඳහන් කරන ලෝක සෞඛ්‍ය සංවිධානය, මේ වනවිට මෙම වෛරසය මැඩ පැවැත්වීමට එන්නතක් හෝ නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති බවත්, පූර්ව ආරක්ෂාව පමණක් අනුගමනය කළ යුතු බවත්, අවධාරණය කර තිබෙනවා.
නීපා වෛරසය (Nipah Virus) පලතුරු ආශ්‍රිතව ජීවත්වන වවුලන්ගෙන් පැතිරෙන වෛරසයක් බවද මෙමගින් මිනිසුන්ට සහ සතුන්ට බරපතළ රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බවද වෛරසය ආසාදනයවී දින 4 – 14 ක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.
එසේම වෛරසය ආසාදිත පුද්ගලයන්ගෙන් 40%ත් 75%ත් අතර පිරිසක් මිය යෑමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මෙම වෛරසය මාරාන්තික වන බවද වෛද්‍යවරයා පවසනවා.
නීපා වෛරසය වවුලන්ගේ මුත්‍රා, අසූචි සහ ලවණ මගින් මෙන්ම ආශාරිත ආහාර සහ ජලය, ආශාරිත සතුන් මගින් පැතිරෙන බවත්, මුල් අවධියේ රෝග ලක්ෂණ ලෙස උණ, සිරුරේ වේදනාව, වමනය සහ මස්පිඬු වේදනාව පවතින බවත්, රෝගයේ දරුණු අවධියේදී හුස්ම ගැනීමේ අපහසුතාව, සිහිමද ගතිය, දැඩි නිදිමත ගතිය සහ මොළය ඉදිමීම දක්වා වර්ධනය වන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.
නීපා වෛරසය මේ දක්වා මෙරටින් වාර්තා වී නැතත්, විදේශගතව සිට මෙරටට පැමිණෙන්නන් සහ ආශාරිත ආහාර පරිභෝජනය කරන්නේ නම්, ඒ පිළිබඳව සැලකිලිමත් වීමත්, වෛරස් රෝගවලින් වැළකී සිටීමේ පූර්ව සෞඛ්‍ය උපදේශන ක්‍රියාත්මක කිරීමත්, රෝගයෙන් වැළකීමේ ක්‍රියාමාර්ග වනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේ ය. එසේම වෛරසය ආශ්වාස කිරීමෙන් වැළකී සිටීම සඳහා මුව ආවරණ පැලඳීම ද වැදගත් වනු ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති, වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසුවේ මෙවැන්නක්,
"නීපා වෛරස තත්ත්වයේ බලපෑම පිළිබඳව මේ දක්වා වාර්තා වී නැතත්, අපි ඒ පිළිබඳව අවධානයෙන් පසුවෙනවා. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය පූර්ණ අවධානය යොමුකර තිබෙනවා.”
දිවයින පුවත්පත ඇසුරෙන්..