2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම අද සිදු වුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
අද සිට 24 දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා– එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
ඉන් අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.
ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම-සත්කාරකත්වයෙන් පෙබරවාරි 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.
2012 වසරේ පවත් වන ලද පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම තරගාවලිය වන්නේ මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.