ඒ උණුසුම යන්නත් මත්තෙන් නැවතත් කාලගුණය උඩුයටිකුරු වේවිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක්..
දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද යන පළාත්වලට හෙට මිලිමීටර් 150ත් 200ත් අතර වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
''පහුගිය දිනවල දිවයිනට ආසන්නයේ ගිනිකොණ දිග බෙංගාල බෝක්කේ ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයන් තිබුණා. එතකොට මේ පිළිබඳව අපි විශ්ලේෂණවල පැහැදිලි කරා. ඒ වගේම ඒක ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ලකුණු තමයි අපිට පැහැදිලි වෙලා තිබුනේ. ඒ පිළිබඳව අපි මාධ්‍ය හරහා දැනුවත් කළා. එතකොට මේක දැන් පීඩන අවපාතයක් දක්වා පරිවර්තනය වෙලා තියෙනවා. අඩු පීඩන කලාපයේ පීඩන කලාපයක් වෙලා තියෙනවා. එතනින් පස්සේ දැන් අපිට පේනවා ගැඹුරු පීඩන කලාපයක් වෙලා තියෙන බව. දැනට මේක ස්ථානගතවෙලා තියෙන්නේ ලංකාවේ නැගෙනහිර වෙරළෙ පොතුවිල් ප්‍රදේශයේ සිට ඒ කියන්නේ පොතුවිල් සිට ගිනිකොන දිශාවෙන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 350 ක් පමණ ඈතින් පමණ තමයි මේක ස්ථානගතවෙලා තියෙන්නේ. මේ තත්ත්වය යටතේ අපි පැහැදිලිව අපේ ධීවර හා නාවික සහෝදරයන්ට කියලා තියෙනවා ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්න එපා කියලා. මේ පද්ධතිය හේතු කොටගෙන ගැඹුරු මුහුදු තීරයත් ඊළඟට ආසන්න මුහුදු තීරයේත් සුළං වේගයේ වැඩිවීමක් විශේෂයෙන්ම පැයට කිලෝමීටර් හැත්තෑව, අසූව දක්වා ඉහළ යනවා.
ඊට අමතරව දිවයින වටාම තියෙන මුහුදු රළ ඉහළ යෑම. මේක අපට පැහැදිලිව පේනවා මීටර් දෙකක් තුනත් අතර මට්ටම ඉහළ යෑමක් තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම තද වැසි ඇති වෙනවා. ඒ පද්ධතිය හේතු කොටගෙන. ඒ නිසා ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස අපි ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශ කරනවා. එතකොට මේ පද්ධතිය දැනට අපට පේනවා ක්‍රම ක්‍රමයෙන් නැගෙනහිර වෙරළබඩ තීරයට ලංවෙන බව. එතකොට මේ ලං වීම තුළ හැබැයි මේක තාමත් ගැඹුරු පීඩන අවපාතයක් වෙමින් තමයි පවතින්නේ. හැබැයි අපේ විශ්ලේෂණවල පෙන්නුම් කරනවා මේක බොහෝ විට හම්බන්තොටත් කල්මුණෙත් අතරින් හෙට දිනේ සවස් යාමය වන විට සාමාන්‍යයෙන් පහ හමාරත්, එකොළහ හමාරත් අතර පරාසය තුළ ඇති දිවයින තුළට ඇතුළු වෙයි කියන එක.
එතකොට දැනට අප අද දිනේ සිට වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව පැහැදිලිව කියනවා. එතකොට මේ වර්ෂාපතනය වැඩිවීම තියෙන්නෙ වැඩි හරියක් නැගෙනහිර ඌව වගේ පළාත්වල. සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් ඇතිවෙන්න පුළුවන්. මේ පද්ධතිය හේතුකොටගෙන දිවයින තුළ සුළං තත්ත්වය වැඩි වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මධ්‍යම කඳුකරේ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂයෙන්ම බටහිර බෑවුම තුළ සහ දකුණු පළාතේ මේ සුළං වේගයේ වැඩිවීම සාපේක්ෂව අඩුවක් තියෙයි. හැබැයි අනෙකුත් සියලුම පළාත්වල විශේෂයෙන්ම කොළඹ වගේ ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවෙන්න පුළුවන්.''