දුරුතු පොහොය වැදගත් වෙන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසායි.
ඒ මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර ගටගෙන තිබූ අරගලය සමථයට පත්කිරීම සඳහායි.
බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සාහ දැරුව ද තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යයි සිතූ යක්ෂයෝ අවි අමෝරා ගෙන බුදුන් වහන්සේට එරෙහිව නැගී සිටියා.
යක්ෂයින් දමනයට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුන් වහන්සේ වර්ෂාව, අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කළා.
පසුව යක්ෂයෝ ගිරි දිවයිනට පලා ගිය අතර එහි පැමිණ සිටි සුමන (සමන්) නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ අතර මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්තූපයයි.
එමෙන්ම බුදුන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර තබන ලද්දේ ද දුරුතු පොහෝ දිනකදීයි.
ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමින්.
බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද මෙම පොහොය දිනයේදී වීම විශේෂත්වයක්.