2004 වසරේදී මිනිස් ජීවිත 35,000කට වඩා උදුරාගත් ඒ මහා ව්‍යසනයෙන් මියගිය සහ අතුරුදන් වූ 5,000කට අධික පිරිස වෙනුවෙන් අද දිනයේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.
අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන්න කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මුළු රටෙන්ම ඉල්ලීමක් කරනවා. මියගිය ඒ අහිංසක මිනිසුන් වෙනුවෙන් විනාඩි දෙකක් වැය කිරීම අපේ යුතුකමක්.
එදා සුනාමියට හසුවී මහා විනාශයක් සිදු වූ "පැරෑලිය දුම්රිය අනතුර" සිහිපත් කරමින් අදත් විශේෂ දුම්රියක් ධාවනය කරන අතර එම දුම්රිය පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භය කර පෙරවරු 9.27ට පමණ පැරෑලියට ළඟා වීමට නියමිතව තිබෙනවා.
අනතුර සිදු වූ ස්ථානයේ විනාඩි 10ක කාලයක් දුම්රිය නතර කර තැබෙන අතර, ඉන්පසු එය මාතර බලා පිටත් වීමට නියමිතයි.
දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පවසන්නේ මේ හරහා එදා දිවි අහිමි වූවන් සිහිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි. මෙවර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.