දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම උතුරු, උතුරු - මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවටයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
තවද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40 )ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවටයි වාර්තා වෙන්නේ.
සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.