මේ කතාව හැමෝටම වැදගත් කතාවක්...
සුනඛයකු, පූසකු, ගවයකු හෝ වවුලකුගේ සපා කෑමට ලක්වුවහොත් අනිවාර්යෙන් ම ළඟම ඇති රජයේ රෝහලකට එම රෝගියා ඇතුළත් කළයුතු බවත් එන්නත් කරනවා ද නැද්ද යන්න පිළිබඳව රෝහල මගින් තීන්දු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ජලභීතිකා රෝගය වැළඳීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය නෙළුව ප්‍රදේශයේ පදිංචි හත්හැවිරිදි පාසල් සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.
"සුනඛයකු සපාකෑ විට එන්නත් කරනවාද නැද්ද යන්න පිළිබඳ දෙමව්පියන් තීන්දු ගතයුතු නැහැ.මියගිය දරුවාගේ නිවසට බලු පැටවකු ගෙනවිත් දීලා තියෙනවා. සති දෙකකට පසු බලු පැටියා හොයා ගන්න බැරි වෙලා තියෙනවා. මාස දෙකකට පමණ පසු මේ නිවසේ පදිංචි හත්හැවිරිදි දරුවාට හුස්ම ගැනීමට බැරි වෙලා අසනීප වෙලා රෝහල්ගත කරලා තියෙනවා. පස්සේ තමයි දැනගෙන තියෙන්නේ දරුවා බලු පැටියා හූරලා කියලා. බලු පැටියකු හූරලා තියෙනකොට දෙමව්පියන් කියනවා චුට්ටයි හූරලා තියෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ කියලා.
නමුත් ඒ ගැන දෙමව්පියන් තීන්දු ගතයුතු නැහැ. බල්ලෙක් සපා කෑවිට දරුවන් දෙමව්පියන්ට භයට කියන්නේ නැහැ. අනික් කාරණය තමයි බල්ලෙක් සපාකෑ විට බුරිය වටේ එන්නත් 20ක් විදිනවා කියලා සමාජයේ මිත්‍යා මතයක් තියෙනවා. ඒක බොරුවක්. මේ සිද්ධියෙන් පසු නෙළුව ප්‍ර දේශයේ පාසල්වල දරුවන් දැනුවත් කිරීමට කටයුතු කළා. දෙමව්පියන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි" යැයි ද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.