වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (08) පස්වරුවේ ආරම්භ කළ හදිසි වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු සඳහන් කළේ තම සාමාජිකයන්ට මගීන්ගෙන් සිදුවූ හිරිහැර හේතුවෙන් තවදුරටත් වර්ජනයේ නිරතවීමට තම සංගමය තීරණය කළ බවයි.
මේ අතර වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථානවල ධාවන කටයුතු සම්පූර්ණයෙන් අඩාලවී තිබෙනවා.
මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක සඳහන් කළේ මහනුවර දුම්රිය ස්ථානයෙන් කිසිදු දුම්රියක් අද දිනයේ ධාවනය නොවු බවයි.
මේ වර්ජනයත් සමඟ මාතර දුම්රිය ස්ථානයෙන්ද මෙතෙක් කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි මාතර හිරු වාර්තාකරු පී.බී. මුතුකුමාරණ සඳහන් කළේ.
මේ අතර මේ සිදුවීම සිහිකරමින් දුම්රිය මගියෙක් අපූරු සටහනත් ලියා තිබෙනවා. අදාළ සටහන පහතින්
"මතකයි අද වගේම දුම්රිය මහත්තුරු කරපු වැඩක්....
දවසනම් මතක නෑ..
ඉස්කෝලෙ ඇරලා ගෙදර එන්න වෙනද වගේ මරදානට ආව. දවල් 12 ඉදන් කෝච්චි ස්ට්‍රයික්. තැන් තැන් වල ඉස්කෝලෙ ළමයි. ගෙදර යන්න විදිහක් හොයනව.. ඒ දවස්වල බලන බලන එකා අතේ hand phone නෑ. රු. 5 කාසි අතේ තියාගෙන කට්ටිය phone එක ගාව පෝලිමේ. සමහරුන්ගෙ අතේ සල්ලි නෑ. මොකද අතේ සල්ලි පුරවගෙන ළමයි ඉස්කෝලෙ එන්නෙ නෑ. සමහරුන්ට පුරවන් එන්න තියා මොනදේ කරන්නත් සල්ලි නෑ. අතේ තියන සල්ලි එක එක්කෙනා බෙදා ගන්නවා. මගෙ අතේ රු.100ක් තිබුන එදා. ඒකෙන් 60ක් මට ගෙදර එන්න තියාගෙන ඉතුරු 40 බෙදල දීල බස් එකක නැග්ගා. බස් එකේවත් එන්න පාරක් දන්නැති ළමයින්ට දන්න විදිහට එක එක්කෙනා පාර කියනව.
මහත්තයෝ...
උඹලට දරුවො ඉන්නවද කියල අපි දන්නෙ නෑ. ඒත් ඉන්නවනම් උන් කෝච්චියේ යනවනම් උඹල අද උන්ව ගෙදර නවත්තගෙන ඇති. අද 8 වෙනිදා. අහිංසක කොල්ලො කෙල්ලො ඉන්නව 10 පඩි ගන්න උන්. උන්ගෙ අතේ මේ වෙද්දි පිච්ච්යක් නැතිවෙලා. මාසෙට රු. 5000ට 6000ට training වෙන්න යන කොල්ලො කෙල්ලො ඉන්නව. ඔය සීසන් කෑල්ල නිසා තමා උන් යන්තම් කොළඹ යන්නෙ.. ගිහින් බලපන්. උන් තාමත් ඉන්නවා කීයට හරි කෝච්චියක් එනකන් කියල බලාගෙන. මහා ලොකු සල්ලි කාරයොනම් ඔය කෝච්චියෙ තැම්බෙන්නෙ නෑ මහත්තයෝ.
මහත්තයෝ....
එකට එකතුවෙලා එක set එකක් විදිහට කොළඹ වැඩට යන සෙට් වල ඉන්නවා ගැබිණි මව්වරු. ආබාධිත කට්ටිය. උන්ව අද උදේ කොළඹට අතෑරල ඕනෙ විදිහකට පලයව් කියල මොකක්ද මහත්තයෝ උඹල ගන්න ආතල් එක.. උන් කොහොමද ගෙවල් වලට යන්නෙ. සෙනග පුරවන් යන බස් එකේ දරුවෙක් බඩේ දරාගෙන කොහොමද උන් යන්නෙ?? උඹලට හිතක් පපුවක් නැද්ද මහත්තයො???
අද ගෙදර එන්න විදිහක් නැතුව තාමත් කොටුවෙ මරදානෙ ඉන්නෙ උඹනම් උඹට තේරෙයි...
අද ගෙදර එන්න විදිහක් නැතුව බඩත් උස්සගෙන බස් එකේ තෙරපෙන්නෙ උඹේ ගෑණිනම් උඹට තේරෙයි....
ගෙදර එන්න විදිහක් නැතුව අතේ සල්ලි නැතුව ඉන්නෙ උඹේ පුතානම් උඹට තේරෙයි...
උඹට තේරෙයි තමත් අදුරන්නැති මිනිස්සු රොත්තක් මැද්දෙ ගෙදර එන්න විදිහක් නැතුව ඇස්වලින් කදුලු හලන්නෙ උඹේ දුවනම්....
උඹල ඔහොම ගන්න ආතල් මහ එවුන්ට තේරෙන්නෙ නෑ. උඹලයි, මහ එවුනුයි හැමදාම තලන්නෙ පොඩි උන්වමයි...
තොපිට හෙන ගහනවා මහත්තයෝ......
- අත්දැකීමෙන් අකුරු කරපු දේවල්- -"