ලක්ෂාන් වත්තුහේවා, මේ නමට වඩා ඒ රුව මිට වසර ගණනාවක සිට බොහෝ අයට හොඳින් මතකයි. ඒ කාලේ පිස්සුවෙන් වගේ ආදරේ කළ පුංචි වීරයෝහි තීක්ෂණ තමයි මේ. තවමත් ඒ චරිතවලට ආදරේ කරන රසිකයින් වෙනුවෙන් ඔහුත් එක්ක ඔහුගේ කලා තොරතුරු වගේම පුද්ගලික ජිවිතේ ගැනත් කතා කරන්න අපි හිතුවා. නළුවෙක්, නවකතාකරුවෙක්, ජනප්‍රිය පිටපත් රචකයෙක් වගේම පද රචකයෙක් ලෙස විවිධ භූමිකාවල දක්ෂතා දක්වන ලක්ෂාන් ගැනයි මේ.
2000 වර්ෂයේ ඔබ අතිශය ජනප්‍රිය ළමා නළුවෙක්, පුංචි වීරයෝ කියන්නේ ඒ කාලේ පොඩ්ඩන්ගේ විතරක් නෙමෙයි ලොක්කන්ගෙත් ප්‍රියතම ටෙලි නිර්මාණයක්. එහි තීක්ෂණ ඔබයි. කලාව ඕපපතිකයක් වුණු ඔබට කොහොමද ඒ අවස්ථාව හිමි වෙන්නේ කියලම කතාබහ පටන් ගමු..?
මගේ පවුලේ හෝ පරම්පරාවේ කවුරුවත්ම කලාකරුවන් නෙමෙයි. මුලින්ම කලාවට අවතීර්ණ වෙන්නේ මම තමයි. මම ඉගෙන ගත්තේ කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ. පුංචි මම බටනලාව වාදනය කරනවා. කොහෙන්වත් ඉගෙන ගෙන නෙමෙයි. අතෙ හුරුවට ගැහුවේ. අපේ ඉස්කෝලේ හිටියා නයනා කුමාරසිංහ කියලා මැඩම් කෙනෙක්. මැඩම් මාව දැකලා කතා කළා. එතුමියගේ යාළුවෙක් තමයි ප්‍රියන්ත කොළඹගේ මහත්මයා. ඔහුගේ අකුරෙන් අකුරට කියලා චිත්‍රපටයකට මාව ගත්තා. ඒ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත මහත්මයා. ඩොනල්ඩ් මහත්මයා පුංචි විරයේ නාට්‍යයේත් සහය අධ්‍යක්ෂ. ඔහු තමයි මාව ඒ නාට්‍යට ගත්තේ. එතකොට මගේ වයස අවුරුදු 11යි.
නොත්රෙන වයසක හිටපු ලක්ෂාන්ට කැමරාව ඉදිරියට යන එක එදා අභියෝගයක් වුනේ නැද්ද..?
නාට්‍යට කලින් චිත්‍රපටියේ වැඩ කරද්දී ඇත්තටම බයක් දැනුනේ නැහැ. ප්‍රියන්ත අංකල්, ගාමිණී හෙට්ටිආරච්චි අංකල් එහෙම අපිට ආදරෙන් හැමදේම කියලා දුන්නේ. නමුත් පුංචි වීරයෝ නාට්‍යයේදී පොඩි බයක් දැනුනා. ඒකට හේතුව නම් හිතා ගන්න බැහැ. කොටස් දෙක තුන රූගත වෙද්දී එතැනදී දැනුනු බයත් ඉබේටම නැති වෙලා ගියා. ඊට පස්සේ නාලක ස්වර්ණතිලක මහත්මයාගේ දගමල්ල හා අමුතු ඉස්කෝලෙත් මම රඟපෑවා. වේදිකාවට සමීප වුනේ ඒ නිර්මාණයෙන්.
ඒ කාලේ ඔබ අතිශය ජනප්‍රිය තරුවක් බව ඔබට තේරුනාද..?
පුංචි වීරයෝ නාට්‍ය නිසා ඒ කාලේ අසීමිත රසික ප්‍රතිචාරයක් ලැබුනා. පිස්සුවෙන් වගේ ඒ නාට්‍ය නැරඹු පිරිසක් හිටියා. අපි කරන සමහර දේවල් ඒ කාලේ පොඩ්ඩෝ කරන්න පෙලෙඹුනා. දැන් ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියන්ට ශිල්පීන්ට වඩා ඒ කාලේ පුංචි අපිට ප්‍රතිචාර තිබ්බා. ප්‍රවීන කලාකරුවෝ සම්බන්ධ වෙන ඇතැම් උත්සවවලට පවා අපිට ආරාධනා ලැබුනා. ඇත්තම කිව්වොත් මගේ දෙමාපියන් පවා ඒ ජනප්‍රියත්වයට බය වුනා. මොකද මම අධ්‍යාපනය අඩාල කරගනීවි ජනප්‍රියත්වය නිසා කියලා.ඒ නිසා ඊට පස්සේ මම උසස්පෙළ කරලා අවසන් වෙනකල් නාට්‍යට සම්බධ වෙන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් මම රඟපෑවේ නැහැ කියලා බාහිර ක්‍රියාකාරකම් නොකර හිටියේ නැහැ, පාසල් කාලේ මම හැම දෙයකටම සම්බධ වුනා. පන්තියේ නොහිටිය තරම්. ඒ වගේම හොඳට ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට ඇතුල් වෙලා උසස් අධ්‍යාපනයත් හැදෑරුවා.
කෝ දැන් පුංචි වීරයෝ ටික..?
මම විතරයි කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. එක වීරයෙක් ඉන්නේ නුවර. දෙන්නෙක් ඇමරිකාවේ, එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මෙතැනදී චන්න පෙරේරා මහත්මයාව විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔහුගෙන් පුංචි අපිට ඉගෙන ගන්න බොහෝ දේ තිබ්බා. ඇත්තටම විනය හැදුණේ ඔහුගෙන් කිව්වොත් හරි. ළමයින්ට ඉගෙන ගන්න ඔහු හොඳ ගුරුවරයෙක්.
එදා ලැබුණු ප්‍රතිචාර අදටත් ලැබෙනවද..?
මම මොන නිර්මාණයට සම්බන්ධ වුනත් ඒ හැම චරිතයකටම වඩා අදටත් ජනතාවට මතක තික්ෂනවා තමයි. ආ මේ පුංචි වීරයෝ නාට්‍යයේ තීක්ෂණ නේද කියලා බොහෝ දෙනෙක් අහනවා. ඒ ප්‍රතිචාර ඇත්තටම ජිවිතයට ලොකු භාගයක් කියලයි මමනම් හිතන්නේ.
එදා කැමරාව ඉදිරියේ වීරකම් කරන්න ගිහින් අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද..?
ජිවිතේට අමතක නොවන සිදුවීමක් වුනා. එක දර්ශන තලයක් තිබ්බා අඩි 12ක විතර වලකට පනින්න තියෙන. කලා අධ්‍යක්ෂවරයාට වලට මෙට්ටයක් දාන්න අමතක වෙලා. මම පැන්නා. පපුව වලේ ගැට්ටේ වැදිලා. ෂොක් එකට මගේ පපුව නතර වෙලා. සිහිය එද්දී මම හිටියේ හොස්පිටල් එකේ. එදා සිහිය ආවේ නැත්තම් අද ලක්ෂාන් වත්තුහේවා කෙනෙක් නැහැ. ඒ වගේම ඒ දර්ශනයට රූගත කළා. කිසිම බයක් නැතුව ඒ වලටම ආයෙමත් මම පැන්නා.
ඔබ නවකතාකරුවෙක්, පදරචකයෙක්, නළුවෙක් වගේම ටෙලිනාට්‍ය පිටපත් රචකයෙක්, මේ හැම භූමිකාවක් එක්කම ඔබ රැකියාව විදිහට තෝරාගෙන තිබෙන්නේ ගුරු වෘත්තිය. කාර්යබහුල ජිවිතේ හසුරවාගන්නේ කොහොමද කියලත් කියමු..?
රංගන ශිල්පියෙක් විදිහට විතරක් වැඩ කරලා ආර්ථිකය ශක්තිමත් කරගන්න අමාරුයි. දරුවෙක් හදන්න පවුලක් හදන්න ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන . කාලය වෙලාව නොබලා පුළුවන් දෙයින් හම්බ කරනවා. ඒ නිසා මගේ දැනුමෙන් දරුවන් පෝෂණය කරන්න මම ගුරු වෘත්තිය තෝරා ගත්තා. මම ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් හැටියට සේවය කරනවා. ඒ අතරතුර තමයි කලා කටයුතු කරන්නේ. මේ වෙද්දී මම ගීත 15 විතර ලියලා තියෙනවා. ටෙලිනාට්‍ය 10ක විතර දැනට පිටපත් රචනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මිහාරා කියලා නවකතාවක් ලිව්වා. එය 2009 වර්ෂයේ තමයි එළිදැක්වූයේ. අලුත් නවකතාවක් ලියමින් ඉන්නවා. මගේ රංගන ජිවිතේ තුල මතක් කල යුතු චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් ද්වින්ද කෝන්ගහගේ, ජානක සිරිවර්ධන. මේ දෙන්නා මට ගුරුහරුකම් කියලා දෙනවා. ඒ හැම දෙයක් එක්කම ජිවිතේ ගෙවිලා යනවා.
කලාව ඔපපාතිකයක් වුනු ඔබට කලාවට සිමා පනවන්න දෙමාපියන් උත්සහ ගත්තේ නැද්ද..?
මගේ අම්මා තාත්තා මම පුංචි කාලේ ඉදලම මට උදව් කළා පස්සෙන් හිටියා. අධ්‍යාපනය ගැන විතරයි ඒ අයට බය තිබ්බේ. සීමාවන් දැම්මේ නැහැ. ඒ නිසානේ මෙතරම් දුරක් මට එන්න පුළුවන් වුනේ. ඒ වගේම මගේ මගේ අක්කලා දෙන්නයි අයියයි මතක් කරන්න ඕන. මගේ බිරිද විශේෂයෙන් මතක් කරන්න ඕන. ඇයගේ දෙමාපියන්වත් මම මතක් කරනවා. මේ හැමෝගෙන්ම මට උදව් ලැබෙනවා අදටත්.
ඔබ දැන් විවාහකයි, ඔබට දියණියක් ඉන්නවා, ඔබේ බිරිඳ ඒ කාලේ ඔබේ රසිකාවියක් වෙන්න ඇති නේද..?
පුංචි වීරයෝ නාට්‍යයේ ඉන්න කාලේ එයා මට ෆුල් බොක්කෙන්ම ලව් කරලා තියෙනවා. මට එයා මුණගැහෙන්නේ විශ්ව විද්‍යාලයේදී. අපි ආදරේ කරලා විවාහ වුනේ. පුංචි කාලේ එයත් පුංචි වීරයෝ නාට්‍යයේ රසිකාවියක්.
ඇයත් උපාධිධාරිනියක්. නමුත් ඇය ගෘහණියක්, ඔබේ කාර්යබහුල ජිවිතේ එක්ක ඇය ඔබට දොස් නගන්නේ නැද්ද ඇයටත් රැකියාවක් කරන්න තිබ්බ නම් කියලා..?
බිරිඳ ලක්ෂී ජයවර්ධන වත්තුහේවා. ශාස්ත්‍රපති උපාධියටත් සුදානම් වෙනවා. නමුත් ඇය රැකියාවක් කරන්නේ නැහැ. අපේ දියණිය සසේන්‍යා ලක්ෂේන්ද්‍රි. වයස අවුරුදු හතරාමාරයි. දියණිය නිසා ඇය රැකියාවක් කරන්නේ නැහැ. මම නීති දාලා නැහැ රැකියාවක් කරන්න එපා කියලා. නමුත් ඇයට නිදහසේ කරන්න පුළුවන් රැකියාවක් ලැබුනේ නැහැ. හැමදෙයක්ම බදාගෙන ඇයට කරන්න බැහැ. ආර්ථික ප්‍රශ්න මතු වෙන අවස්ථාවල මට දොස් කියනව රැකියාවක් කරා නම් හරි කියලා. නමුත් දරුවාගේ වගකීමෙන් අපිට පිට පනින්න බැහැ. එයා වැඩෙන්න ඕන අම්මගේ ආරක්ෂාව එක්ක.