මේ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි එම කාර්යාලයේ අංශභාර ප්‍රධාන නිලධාරිනියන් දෙදෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 22 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණා. හැබැයි කතාව එතැනින් ඉවර වෙන්නේ නැහැ; මේ ජාවාරමේ අතුපතර විහිදිලා තියෙන විදිහ දැක්කම ඕනෑම කෙනෙකුගේ ඇස් උඩ ඉන්දවෙනවා.
මුදල් අමාත්‍යාංශය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශ කළ සූක්ෂ්ම පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මේ නෝනාවරු දෙන්නා තමන්ගේ හිතුමනාපෙට හැටන් කලාපයේ පාසල් ගුරුවරුන් 06 දෙනෙකුගේ පෞද්ගලික බැංකු ගිණුම්වලටත් හොර රහසේම අස්වැසුම මුදල් පොම්ප කර ඇති බවයි. ගුරු වෘත්තියටත් කළු පැල්ලමක් එක් කරමින් හෙළි වූ මේ සිද්ධියත් සමඟ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ක්ෂණික දැනුම්දීම මත එම සැකකටයුතු ගුරුවරුන් හයදෙනාගේම වැඩ තහනම් කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා.
මේ හොර ජාලය ගුරුවරුන්ට පමණක් සීමා වෙලා නැහැ. ප්‍රධාන සැකකාරියකගේ සහෝදරයෙකුගේ බැංකු ගිණුමටද ඉතා විශාල වශයෙන් මුදල් බැර වී ඇති බවට සාක්ෂි හමුවී තිබෙනවා. විශේෂම කාරණය වන්නේ ඔහු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේම උසස් තනතුරක් දැරූ අයෙකු වීමයි. සිද්ධිය කරළියට ඒමත් සමඟ ඔහුගේ වැඩ තහනම් කිරීමටත් පාලනාධිකාරිය ක්‍රියා කර තිබෙනවා.
වංචා කර ඇති මුදල රුපියල් කෝටි 2ක් ඉක්මවා යන බැවින්, හැටන් කොට්ඨාස විමර්ශන ඒකකය විසින් මේ වන විටත් සම්පූර්ණ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දී අවසන්. ඉදිරියේදී මේ මුදල් වංචාව පිටුපස සිටින තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වන අතර, තවත් ඉහළ පුටු කිහිපයක නම් ගම් ඉදිරියේදී හෙළිවීමට නියමිතයි.