ශ්‍රී ලාංකීය සිනමාවේ සහ දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබූ අසහාය කලාකරු විජය කුමාරතුංගයන් අපෙන් සමුගෙන අදට (පෙබරවාරි 16) හරියටම වසර 38ක් සපිරෙනවා.
ඒ නිමිත්තෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තම ආදරණීය සැමියාගේ මතකය අලුත් කරමින් මුළු රටම සංවේදී කරවන සටහනක් එක්කර තිබෙනවා.
විජය සිරගතව සිටි සමයේ තම ආදරණීය දියණිය වූ යශෝධරා වෙනුවෙන් ලියූ ලිපියක අඩංගු වූ ඒ අපූරු වදන් පෙළ චන්ද්‍රිකා මහත්මිය මෙලෙස හෙළි කර තිබුණා.
"උඹ ඉපදුණු වෙලේ මම තීරණය කරලා තිබුණේ උඹට 'යශෝධරා' කියලා නම තියන්න. සිය ගණනක් හෙව්වත් මට තිබුණ එකම නම 'යශෝධරා' විතරයි. මේ මිහිපිට ඉපදිලා රජ සැප විඳලා පසුව කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා අසරණ වුණු කෙනෙක් යශෝධරා. ඒත් ඒ සියල්ල මේ ලෝකේ අසරණ ජනතාව වෙනුවෙන් ඇය ඉවසා වදාරගෙන හිටියා."
විජය එම ලිපියෙන් තම දියණියට ලබා දුන් ලොකුම අවවාදය වූයේ මනුස්සකම රැකගැනීමයි.
"ඉවසීමේ, අවබෝධයේ, කරුණාවේ, ගුණ යහපත්කමේ කෙළවර තමයි 'යශෝධරා'. ඒ ගුණ ධර්මවලින් බිඳක්වත් තිබුණොත් උඹ හොඳ මනුස්සයෙක් වෙයි. මට ඒ ඇති. මේ ලෝකේ ඉපදුණු කෙනෙකුට ආරක්ෂා කරගන්න ඕන එකම දේ මනුස්සකමයි."
වසර 38ක් ගෙවුණද විජය කුමාරතුංගයන්ගේ ඒ මානුෂීය ගුණාංග සහ ඔහු තම දරුවන් තුළ දැකීමට කැමති වූ ඒ උතුම් ගතිගුණ අදටත් අප සැමටම ආදර්ශයක් බව මේ ලිපිය නැවත වරක් මතක් කර දෙනවා.