මේ මරණය ඇත්තටම බොහෝ දෙනා සංවේගයට පත් කළ කාරණය වුණා.. පුංචි දුවකට මේ සිද්ධ වුණේ කුමක්ද..? සුරතල් අමායාට ආදරය කරන බොහෝ දෙනෙක්ට ඇත්තටම මේ කතාව නම් හීනයක් වගේ..
"අනේ අම්මෙ මං ගෙදර එනකොට කොහෙවත් යන්නෙ නැතුව ගෙදර ඉන්නවා නේද? මට ඔයා නැතුව කවුරු හිටියත් වැඩක් නෑනෙ. ඔයත් එක්ක මං ඉස්කෝලෙ නොගිහින් ගෙදරම ඉන්නද? අනේ මට බෑ අම්මෙ ඉස්කෝලේ යන්න." පුංචි අමායා උදෑසන මවට තුරුලු වෙමින් පාසල් යෑමට නොහැකි බව පවසමින් හුරතල් වූයේ මෙවැනි විපතක් සිදු වන බව ඉවෙන් මෙන් දැනගෙනද?
එහෙත් අවසානයේ පෙර පාසල් ඇඳුමෙන් සැරසී පුංචි සුරතලිය ත්‍රිරෝද රථයට නැඟුණේ මේ යන්නේ අවසන් වතාවට වීම කොතරම් ශෝචනීයද?
පරගස්තොට, මිල්ලනිය අවට දරුවන් අට දෙනකු දිනපතා ලබුගම ප්‍රදේශයේ සිඟිති පෙර පාසලට රැගෙන යන්නේ මේ ත්‍රිරෝද රථයෙනි.
පෙර පාසල අවසන් වීමෙන් පසුව පුංචි අමායා ත්‍රිරෝද රථයට ගොඩ වූයේ නිවෙසට යන විට රැකියාවට යෑමට සූදානම් වෙමින් සිටින මව දැකගැනීමේ අටියෙනි.
409/A, බටහිර පරගස්තොට, පරගස්තොට ලිපිනයේ පදිංචි පෞද්ගලික ආයතනවල රැකියාව කරන 27 හැවිරිදි උදේශිකා සෙව්වන්දි සහ 30 හැවිරිදි ඩිලාන් ප්‍රසන්න යුවළට සිටි එකම දරුවා වන්නේ අමායා දිව්‍යාංගනී දියණියයි. තවමත් අවු 4යි මාස 06ක් වයසැති ඇය මවුපිය ආදරය මැද හැදී වැඩුණේ අසල්වැසි නෑදෑයන්ගේ ද සැලකිලි නොඅඩුව ලබමිනි.
සුපුරුදු පරිදි 25 වැනිදා දහවල් දරුවන් අට දෙනකු සහ තවත් මවක් සමඟ ලබුගම පෙර පාසලේ සිට පැමිණි ත්‍රිරෝද රථයට ගමන් කළ හැකි වූයේ කිලෝමීටර් හතරක් පමණි.
කුකුළු පැටවුන් මෙන් දරුවන් පිරිස කිටි කිටියේ පටවා ගත් ත්‍රිරෝද රථය මිල්ලනිය ගොවිජන සේවා මධ්‍යස්ථානය පසු කර තරමක් ඉදිරියට ගමන් කරමින් තිබුණි.
ඒ මිල්ලනිය, රන්මිණික ප්රදේශයයි. හයක් හතරක් නොදන්නා කුඩා දරුවන් වට පිට සිරි නැරඹීමට දක්වන්නේ විශාල කැමැත්තකි. අමායා සිටියේ ත්‍රිරෝද රථයේ දකුණු පස කෙළවරට වෙන්නටයි. ඇය මොහොතකට තම හිස ත්‍රිරෝද රථයෙන් පිටතට යොමු කරන්නට ඇත්තේ සමහර විට ඇය එම අයිනේ සිටි නිසාත් අවට කුමක් සිදු වන්නේ දැයි දැකගැනීමේත් ආසාවෙන් විය යුතුය.
එහෙත් ඉදිරියට පැමිණි ටිපර් රථය ත්‍රිරෝද රථය පසුකර යන විට එහි පිටුපස රෝදය අසල ඇයගේ හිස ගැටුණේ කිසිවකුත් නොසිතූ අයුරින්ය.
පුංචි අමායාගේ හිසට බරපතළ තුවාල සිදු විය. පසුව ඇය හල්තොට රෝහලටත්, පසු හොරණ දිස්ත්‍රික් මහ රෝහලටත් රැගෙන යෑමට කටයුතු කළත් ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ නැත.
"අනේ ඊයේ රෑත් මං කකුලෙ තියාගෙන හොලවලා නේද නිදි කළේ. ඔය ටික දුර මට මගේ දරුවා පරිස්සම් කරලා ගෙදරට ගෙනත් දෙන්න බැරි වුණේ ඇයි දෙයියනේ"
ඇගේ විලාපය මුළු පරගස්තොට, මිල්ලනිය, අරකගොඩ ගම්මාන සිසාරා රැව් දෙන්නේ දරුවන් ඇති නැති සියලු දෙනා කම්පනයට පත් කරමිනි.
“ඉස්කෝලේ නිවාඩුවට අපි කොහේහරි ඇවිදින්න යමු කියලත් කිව්වා. ගෙදර ඉන්නකොට හැම තිස්සේම මගේ පස්සෙන්මයි හිටියේ. අනේ මගේ පණ නැතුව මං කොහොමද ඉවසාගෙන ඉන්න ද දෙයියනේ”
උදේශිකා රැකියාවට යන්නේ දහවල් එකහමාරට පමණය. ඇය රැකියාව නිමවී ආපසු එනතුරු අමායා සිටින්නේ සිරියාවතී මිත්තණිය සහ කුමාර සීයා සමඟයි.
මිය ගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු සුමේධ ගුණවර්ධන ඉදිරියේ පැවැත්වෙන අතර, මිල්ලනිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක මහික ද සිල්වා, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් අල්විස් මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ඉදිරි විමර්ශන සිදු කෙරේ.
