කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් සහ ආපනශාලාවක් මතට ගල් පර්වතයක් සමග පස් කන්දක් කඩා වැටුණේ පෙරෙයිදා උදෑසනයි.
එම අවාසනාවන්ත අනතුරින් 06 දෙනෙකුට දිවි අහිමි වූ අතර, 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
මෙම නායයෑමත් සමග සුන්බුන්වලට යටවී ජීවිතයත් මරණයත් අතර සටනේ නිරතවූ පිරිසගෙන් එක් කාන්තාවක් දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූ අතර, මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ වී පැය 6කට පසුවත් නිරුපද්‍රිතව සිටි ඇය මුහුණපෑ අත්දැකීම හිරු ප්‍රවෘත්ති හමුවේ මෙලෙස අනාවරණය කළා.
"අපිට උදේ වරුව ටිකක් කාර්‍යබහුල වුණා. අංකල් සාමාන්‍යයෙන් මට කියනවා, දුව තේ එකක් හදන්නකෝ අපිට බොන්න කියලා. මම තේ එක හදලා ඉවර වෙලා කිව්වා, අංකල් ලින්ටන් අයියා තේ එක හැදුවා බොමු කියලා..
තේ එක බීලා මම වෙනදා වොෂ් රූම් එකට යනවා. ඒත් මම ඊයේ වොෂ් රූම් එකට ගියේ නැහැ. ඒක මගේ වාසනාව. වොෂ් රූම් ගියා නම් මම අද ජීවතුන් අතර නැහැ. ටික වෙලාවක් යද්දි ඒ අයියා ඇවිල්ලා මොකක් හරි ඉල්ලුවා මගෙන්. හරි අයියේ දෙන්නම් කියලා මං උඩ බැලුවා. බලද්දී මට තේරුණා ගහක් මේ පැත්තට එනවා වගේ. ඊට පස්සේ මං එතනින් කෑ ගහගෙන දුවගෙන ආවා, අංකල් ගහක් එනවා දුවමු.. දුවමු.. කියලා. දුවන්න හම්බුණේ නැහැ, මම හිර වෙලා හිටියේ."
ඉන් අනතුරුව එම බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,
"මං හිරවෙලා ඉන්න අතරතුරේ, මට හිතාගන්න බැහැ දැන් මට මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මං හිත තද කරගෙන මගේ දරුවයි මහත්තයාවයි මතක් කරගත්තා. මේ දෙන්නගේ වාසනාවක් තියෙනවා නම් මං බේරෙනවා කියලා. ටික වෙලාවක් යද්දි මට එළියෙන් සද්ද ඇහෙනවා. එක්කෙනෙක් මට කියනවා ඇහුණා නංගි ඇතුළේ.. නංගි ඇතුළේ.. කියලා. ඊට පස්සේ පිටින් ඇවිල්ලා කියනවා කට්ටිය බැකෝ දාලා මේ පැත්තෙන් කඩමු, පඩි පේළිය කඩමු එහෙම කියලා. ඒවත් මට හොඳට ඇහෙනවා. මං කතා කරන එක එළියට ඇහෙන්නේ නැහැ. මං අන්තිමේදී ඇස් දෙක පියාගත්තා...
ගෑස් සිලින්ඩරයක් උඩ තමා කොන්ක්‍රිට් තට්ටුව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මට ඉඩ පරතරයක් ආවා. බැකෝ දාලා කඩමු කියද්දී මට හිත ටිකක් අවුල් ගියා.. මොකද එහෙම කරොත් කෑලි ඇඟටනේ වැටෙන්නේ. ඊට පස්සෙ කිව්වා බූම් එක දාලා කොන්ක්‍රිට් එක උස්සමු කියලා. එතකොට මගේ හිත ටිකක් හරි ගියා. එක මල්ලි කෙනෙක් පෙනුණා කවුද දන්නේ නැහැ.. ආමි එකේද පොලිසියෙද කියලා.. මම "බුදු මල්ලී.. මං ඇතුලේ ඉන්නවා" කිව්වා. එතකොට එයා කිව්වා "අනේ මගේ අක්කේ.. ඔයා බය වෙන්න එපා අපි ඔයාව ගන්නවා" කියලා. ඊට පස්සේ මං අත දාලා මං ඉන්න තැන සංඥා කළා එයාට. ඊට පස්සේ එයා ටෝච් එකක් ගහලා බැලුවා. ඊට පස්සේ එයාල මාව ඇදලා අර ගත්තා." යනුවෙන් ඇය එම අත්දැකීම විස්තර කරමින් පැවසුවා.