වයස අවුරුදු 24 වුණ මේ තරුණිය පසුගිය 09 වැනිදා අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. වාර්තා වන තොරතුරුවලට අනුව, පසුගිය 09 වැනිදා අලුයම 2.00 ට පමණ මෙම තරුණියට හුස්ම ගැනීමේ දැඩි අපහසුවක් ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගිලන් රථ සේවකයන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ගිලන් රථ සේවකයින් පැමිණීමෙන් පසු ඔවුන් තරුණිය නිරීක්ෂණය කොට කියා තිබෙන්නේ අදාළ තරුණිය ඒ වන විටත් මියගොස් ඇති බවයි. පසුව අදාළ ගිලන් රථ සේවකයින් ආපසු හැරී ගොස් තිබෙනවා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති අතර මරණය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී, මියගිය තරුණියට ඇදුම රෝගය (ආස්ත්මාව) පැවති බවට ඇයගේ ඥාතීන් විසින් ප්‍රකාශ කර තිබූ බවද වාර්තා වෙලා තියෙනවා.
කෙසේ වෙතත් ඇයගේ ශරීරය පුරාම දරුණු ලෙස පහරදීමෙන් ඇති වූ තැලීම් තුවාල පවතින බව , තරුණියගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
විමතියට කාරණය නම් මෙම සොයාගැනීමත් සමග මරණය පිළිබඳව නැවත සිදුකළ විමර්ශනවලදී කම්පන සහගත තොරතුරු රැසක් හෙළිදරව් වී තිබීමයි. මියගිය මෙම තරුණිය මව්පියන් නොමැති අයෙකු වන අතර, ඇය සිය සොහොයුරිය සමග ජීවත්වී ඇත. පසුගිය 08 වැනි සෙනසුරාදා දින, ඇය සිය සොහොයුරියට කිසිවක් නොදන්වා නිවසින් පිටතට ගොස් පසුව නැවත නිවසට පැමිණ තිබෙනවා.
මෙම සිදුවීම හේතුවෙන්, තරුණියගේ මාමා විසින් කෝටුවකින් ඇයට අමානුෂික ලෙස පහර දී ඇති බව විමර්ශන මගින් අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
මෙම පහරදීමෙන් අනතුරුව, පසුදා 09 වැනිදා අලුයම 2.00 ට පමණ තරුණියට හුස්ම ගැනීමේ අපහසුව මතුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළ පොලිසිය, මියගිය තරුණියගේ මාමා වන, යාපනය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයෙකු ලෙස සේවය කරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.