කවුරු කොහොම සතුටුවෙන්න ගියත් හැම වෙලාවකම තමන්ගේ ප්‍රවේශම ගැන වගබලාගත යුතුබව දැදුරු ඔය මේ සිද්ධියෙන් අපට මනාවට පැහැදිලි වෙනවා. ඒ අඳුරු දවස ගැන ලියැවුණු තවත් කතාවක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා.
එදා ඉල් පුර පසළොස්වක පුන් පොහොය දිනයයි. ස්වාමීන් වහන්සේ රට පුරා විහාරස්ථානවල පින්කම් පවත්වමින් ජීවිතයේ අනිත්‍ය බව පසක් කර දෙමින් සිටියහ. තණ අග පිනි බිඳුවක් සේ මේ ජීවිතය ඇතැම්හු අතරමඟ නතර කරති. මේ සදාතනික සත්‍යය අප තේරුම් ගත යුතු වුවද පුහුදුන් මිනිසුන්ට තම ළබැඳියන් අකල්හි මෙලොව හැර යෑම දරාගත නොහැකි වේදනාවකි. සතුට මහා දුක් ගින්දරක් බවට පත් වන්නට ගත වන්නේ ඇසිල්ලකි. ජිවිත ගමන අඩක් වත් ගෙවා නැති දරුවන් පස් දෙනකු ඉකුත් පුන් පෝ දා චණ්ඩ රළපෙළට බිලි ගෙන දැදුරු ඔය නිහඬව ගලා බසින්නට විය.
මේ දරුවන්ගේ ඉරණම මෙලෙස විසඳෙනු ඇතැයි මොවුන් හීනෙකින්වත් නොසිතුවත්, මාරයා තමන්ව වැලඳගැනීමට මත්තෙන් දෙවියන් වැඳපුදාගැනීමට තරම් කුමක් හෝ පිනක් මොවුන් තුළ තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ අනුව මොවුන් මාරවිල කුරුස පල්ලියට පැමිණෙන්නේ සිත් තුළ ඇති භක්තිය ශක්තියක් බවට සංකේතවත් කරවමිනි. එහි පැමිණි මොවුන් පඬුරු ආදිය දමා නැවතත් සියලු දෙනාම මුන්නේශ්වරම කෝවිලද වැඳපුදාගත්තේ පුදුමාකර භක්තියකිනි.
අනතුරුව මොවුන්ට මාරයා වරින් වර අතවනමින් ආරාධනා කරන්නේ යටි සිත් තුළ දැදුරු ඔයේ දිය නෑමට යා යුතුමය යනුවෙනි. ඉන් පසු සියලු දෙනාගේම කැමැත්තෙන් දැදුරු ඔයේ ජල පහස විඳින්නට පැමිණියේ විඩාබර දිවියට ඉසිඹුවක් වන් සිසිල් දිය බිඳුවල පහස ලැබීමටය. එහෙත් මේ කිසිත් නොදන්නා දරුවන් පස් දෙනෙකුගේ දිවි රහසේ ඩැහැගැනීමට මාන බලමින් සිටි දැදුරු ඔයේ රුදුරු ජල රළ විනෝද ගමන කඳුළු චාරිකාවක් බවට පත් කරන්නට වැය කර තිබුණේ තත්පර ගණනක කාලයක් පමණි.
මේ විනෝද චාරිකාව සඳහා කැලණිය, කිරිබත්ගොඩ, ග්‍රෑන්ඩ්පාස් හා සපුගස්කන්ද ආදි ප්‍රදේශවල 56 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව තිබුණේ හිතවක්කම් අලුත් කරවමිනි. ඒ සමඟ ග්‍රැන්ඩ්පාස්වල එකම පවුලේ 19 හැවිරිදි තරිඳු ලක්මාල් හා ඔහුගේ බාල සොහොයුරා වන 14 හැවිරිදි විරුන් ගිම්හානද එක්ව සිටියහ. ඒ සමඟම සපුගස්කන්ද ප්‍රදේශයේ 18 හැවිරිදි උදාර ඉන්ද්‍රජීත් දරුවාද එක්ව තිබුණේ තම මිතුරන් කළ ඉල්ලීමකට අනුවය. මේ ගමනට මාකොළ දකුණේ පදිංචි 27 හැවිරිදි සන්ජී සමඟ ඔහුගේ 16 හැවිරිදි සොහොයුරා වන පන්සිළු මල්ෂාන් ද එක්ව තිබිණි.
හලාවත ප්‍රදේශයේ සියලු ස්ථාන නැරඹූ පිරිස අනතුරුව දැදුරු ඔයට ගමන් කරනන්ට වූහ. මේ කතාවේ අවාසනාවන්ත ඉරණම් සිදුවීම් මාලාව ආරම්භ වන්නේ මෙතැන් සිටය. පැමිණි පිරිස මුලින්ම ආහාර ගෙන ජලයට බැස දිය නෑමට පටන් ගෙන තිබිණි. පෙර සඳහන් කළ දරුවන් පස් දෙනා සමඟ තවත් කිහිප දෙනකු එකම ස්ථානයක දිය නාමින් සිට ඇති අතර, මොවුන් සියලු දෙනා නොසිතූ ලෙස තත්පර කිහිපයක් ඇතුළත ජල රළකට හසු වී ඇදී යන බවක් දැනී කෑගසන්නට වූහ. දැදුරු ඔයේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට මේ දරුවන්ට හැකියාවක් නොතිබිණ. තප්පර කිහිපයක් ගත වන ඇසිල්ලට ජලයේ බැස සිටි දරුවන් පිරිස නොපෙනී යන්නට විය.
එය දුටු චාරිකාවේ පැමිණි පිරිස තම දරුවන් බේරා දෙන්නැයි විලාප තබන්නට වූ අතර, දරුවන් බේරාගැනීමට පිරිසේ ඇතැමෙක් ජලයට පනින්නට වූහ. එහෙත් දැදුරු ඔයේ රළ පහර තත්පර කිහිපයකින් වෙනස් වන බව නොදැන සිටි වැඩිහිටියන්ද රළපහර විසින් ගිල්වා දමන්නට විය.
පිරිසගේ වාසනාවට එම ස්ථානයෙන් මසුන් මැරීමට ගිය තෙප්පම් ධීවරයකු වැර යොදා එම ස්ථානයට තම තෙප්පම පැදවිත් ජලයේ නොපෙනී යමින් සිටි වැඩිහිටි කාන්තාවන් තිදෙනකු බේරාගැනීමට මහත් වෙහෙසක් ගත් අතර, තවත් පිරිසක් එක් වී කුඩා දරුවකු සමඟ තවත් කිහිප දෙනකු බේරාගැනීමට මහත් වික්‍රමයක් දරා තිබිණි.
කෙසේ වෙතත් පළමුව ජලයේ ගිලී ගිය දරුවන් බේරා ගැනීමට යම් ප්‍රමාදයක් සිදුව තිබිණි. එසේ ජලයේ ගිලී සිටි දරුවන් පස් දෙනාගෙන් සිව් දෙනකු දියෙන් ගොඩට ගෙන තිබුණත් ඒ වන විටත් ඔවුන් ජීවිතයෙන් සමු ගෙන තිබිණි. ඒ සමඟම ජලයේ සැඟව සිටි සෙසු දරුවාද සොයා තෙප්පම්කරුවන් මහත් වෙහෙසක් දරමින් පැය තුනකට ආසන්න කාලයකදි සොයාගන්නා විට ඔහුද මෙලොව හැර ගොස් තිබිණි.
මෙලෙස අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ දරුවන් 5 දෙනා අතුරින් තිදෙනෙක් පාසල් සිසුවෝ වෙති. අනෙක් දෙදෙනා රැකියාවල නිරත වන තරුණයෝය. පාසල් සිසුන් වන විරුන් ගිම්හාන කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු කොළඹ 9, රාජසිංහ විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි, පාසලේ විවිධ කටයුතු සදහා දක්ෂ සිසුවෙකි. විරුන් සමඟ මේ චාරිකාවට එක් වූ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන තරිඳු ලක්මාල් 19 හැවිරිදි තරුණයෙකි. ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇත. මේ දරුවන් දෙදෙනාට අමතරව පවුලේ තව දියණියකද සිටින බව ඥාතීහු පැවසූහ.
දිවි අහිමි වූ අනෙක් දරුවා සපුගස්කන්ද විද්‍යාලයේ අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි උදාර ඉන්ද්‍රජීත්ය. මොහු පාසලේ දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකි. උදාරට වැඩිමල් සොහොයුරියක සිටින බව ඔහුගේ ඥාතීහු කියා සිටියහ.
අවසන් ගමන් ගිය අනෙක් දරුවෝ දෙදෙනාගෙන් මාකොළ, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි පසිඳු මල්ෂාන් මධුවන්ත අබේසිරිවර්ධන කැලණිය ධර්මාලෝක මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ අංශයේ වාණිජ විෂය ධාරවන් හදාරමින් සිටි 17 හැවිරිදි සිසුවෙකි. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන 27 හැවිරිදි දිලංක දිල්ෂාන් මධුවන්ත අබේසිරිවර්ධන එළඹෙන මාසයේ ජපානයට යෑමට සියලු කටයුතු සූදානම්ව සිටි තරුණයෙකි.
සිද්ධිය දුටු ගම්වාසීන් අතර වූ සාම්ප්‍රදායික බිළීබෑමේ නිරත එම්. ප්‍රියන්ත හඬ අවදි කළේ මෙලෙසිනි:
“මම දැන් අවුරුදු 25ක් 30ක් මේ දැදුරු ඔයේ හැමදාම එබෙන මනුස්සයෙක්. අපි දන්නවා මෙතන ගැඹුර කොහොමද කියලා. සමහර තැන්වල අඩි 60ක් 70ක් ගැඹුරුයි. තවත් තැන්වල අඩි 100ක් විතර ගැඹුරුයි. මේ දැදුරු ඔය ගැන පරණ කතාවක් තියෙනවා. දන්න අය දන්නවා ඇති ‘අප්පට පුතා කිවුව දැදුරු ඔය’ කියලා. මේකෙ මම දන්න හැටියට මේ වෙද්දි විශාල පිරිසක් වතුරෙ ගිලිලා මැරිලා තියෙනවා. අනික තමයි අපි රජයට කියනවා. අහිංසක ජීවිත තව දුරටත් මේ වගේ බිල්ලට නොදී ගැඹුරු නැති ප්‍රදේශය තුළ යකඩ කණු හිටවලා කම්බි දැල් අාවරණයක් ඉදි කරන්න. ඒක ඇතුළෙ පමණක් එන අයට නාන්න සලස්වන්න කියලා.”
ජීවිත බේරාගැනීමට ඉදිරිපත් වූ උපුල් ප්‍රියන්ත මහතා පවසා සිටියේ මෙවැන්නකි:
“කට්ටිය වතුරට පැනගෙන විලාප දෙනවා. මම ඉක්මනට ඔරුව අරන් ගිහින් මට පුළුවන් විදිහට තුන් දෙනෙක්ව බේරාගත්තා. තව එක්කෙනෙක් ගිලුණා. එයා යටටම ගියා. එයාව විනාඩි දහයක් වගේ කාලයක් ඇතුළත උඩට ගත්තා. ඒත් ඒ වෙද්දි එයා මරණයට පත් වෙලා. කොහොම හරි තුන් දෙනෙක් බේරගන්න අපි සමත් වුණා. මේ විදිහට ගොඩක් අය මෙතනට දන්නෙ නැතුව නාන්න ඇවිල්ලා ගහගෙන යද්දි අපි අනන්තවත් දිවි බේරගෙන තියෙනවා. මම කියන්නෙ දන්නෙ නැතුව දැදුරු ඔයට ඇවිල්ලා සෙල්ලම් දාන්න නම් හදන්න එපා කියලයි.”
මෙහිදී හඬ අවදි කළ ප්‍රදේශවාසියකු සඳහන් කළේ මෙවන් කතාවකි:
“කට්ටියක් බස් එකක නාන්න ඇවිදිල්ලා තිබ්බා මාරවිල කුරුස පල්ලි ගිහිල්ලා මුන්නේශ්වරමත් වැඳගෙන. ඒ අතරේ විස්සක් විතර එකපාරටම දැදුරු ඔයට නාන්න පෝලිමට දිවුවා. ඒ පිරිසට මගේ නෝනා කතා කරලා කිවුවා ‘ඔතන බහින්න එපා, ගැඹුරුයි’ කියලා. එයාලා කිවුවා ‘නෑ, අපි ගංගාවල නාලා තියෙනවා, ඇළවල්වල නාලා තියෙනවා’ කියලා. ඒ එක්කම විනාඩි දෙකක් ගියෙ නෑ වතුරට බැහැපු රැළම එකපාරටම යට ගියා. පස් දෙනෙක් ගියා යටටම පේන්නෙ නැතුව ඊට පස්සෙ ඒ පස් දෙනා බේරගන්න එයාලගෙ අම්මලා බැස්සා. අම්මලාවත් ගිලුණා. එහා පැත්තෙ අපේ උපුල් මල්ලි ඉන්නවා. එයා හොඳ වෙලාවට ඔරුව අරගෙන ඇවිල්ලා අර දියේ ගිලුණ අම්මලා තුන් දෙනාව බේරගත්තා. මම ගිහින් පනින කොටම මාව එතනම ගිලුණා. පස්සෙ මාවත් බොහොම අමාරුවෙන් බේරගත්තා. ඊට පස්සෙ, අපේ ගමේ හමුදාවෙ අයියා කෙනෙක් ඉන්නවා, එයා නිවාඩු ඇවිල්ලා හිටියෙ, එයා දුවලා ගිහින් තුන් දෙනෙක්ව බේරගෙන උඩ එද්දි එයාවත් ඇදගෙන යට ගියා. එයා බැරිම තැන දාලා ආවා.”
මේ සියලු කතා මැද අපට රටට කීමට ඇත්තේ මෙපමණකි: ඔබ ඔබේ ප්‍රදේශයේ, පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා ශූරයකු වන්නට පුළුවන. එහෙත් ඔබ නොදන්නා ආගන්තුක ප්‍රදේශයක ජලයට බසින්න සිතනවා නම් වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම සිතා බලන්න; ඒ ප්‍රදේශයේ අය කියන දේට නිහතමානිව ඇහුම්කන් දෙන්න යනුවෙනි.
සිළුමිණ පුවත්පත ඇසුරෙන්..