ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන දෙමින්, මෙරට නිර්මාණ ශිල්පිනියක වන චතුරි සමරවීර සිය නිර්මාණ එකතුවක් ලෝව ප්‍රමුඛතම විලාසිතා වේදිකාව වන පැරිස් විලාසිතා සතියේදී (Paris Fashion Week) එළිදක්වා තිබෙනවා.
ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පිනියක විසින් සිය නිර්මාණ එකතුවක් මෙම ජාත්‍යන්තර විලාසිතා උළෙලට ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
චතුරි සමරවීරගේ 'ANAIA Collection' මගින් මෙම ඉදිරිපත් කිරීම සිදුකර තිබුණා.
'Balearic Dreaming' ලෙස නම් කර තිබූ මෙම විලාසිතා දැක්ම 2026 වසන්ත සහ ගිම්හාන සමය සඳහා වූ නිර්මාණ එකතුවක්.
මෙම නිර්මාණවලට ආභාෂය ලැබී ඇත්තේ බැලියරික් දූපත්වල (Balearic Islands) ඇති විස්මයජනක ස්වභාව සෞන්දර්යයෙන් බවයි වාර්තා වන්නේ.
මෙම විලාසිතා දැක්ම පැරිසියේ Hotel Le Marois, Paris හී නිල අතුරු ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වූ අතර, ඒ සඳහා විලාසිතා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සියයකට අධික පිරිසක් එක්වී තිබෙනවා.
මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් චතුරි හට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කළේ, ඇයගේ මෙම ගමන දූරදර්ශීභාවය, නිර්මාණශීලීත්වය සහ කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි.
ශ්‍රී ලංකාවේ සිට ගෝලීය වේදිකාව දක්වා ගිය ඇයගේ මෙම ගමන, ජාත්‍යන්තර විලාසිතා ලෝකයේ ශ්‍රී ලංකාවට හිමි තැන සනිටුහන් කළ ආඩම්බර මොහොතක් බවයි වැඩිදුරත් සඳහන් වන්නේ.