රජයේ රැකියාවක නියැළෙන කඩවසම් පෙනුමැති අයෙක්. කල දශාව ඉක්ම යන බැවින් හා මව්පිය දෙදෙනා රෝගී වන නිසා ගෙදර තනි නොතනියට මනාලියක ගෙනඑන ලෙසට පවුලේ උදවිය නිතර නිතර ඔහුට ඇවිටිලි කළා ...
මඟුල් කපුවන්ට පවා එම කාර්යය කර දෙන ලෙසට බාර දී තිබුණා .
ඒ අනුව මඟුල් කපුවන්, හිතවතුන් කොතෙක් යෝජනා ගෙනාවත් ඒ සියල්ලට ඔහු අකමැතියි. ඔවුනගේ කුමන හෝ අඩුවක් පෙන්වා දී ඔහු ඒවා ප්‍රතික්ෂේප කළ අවස්ථා එමටයි.
මේ තත්වය හමුවේ වියපත් මව්පිය දෙදෙනා පසු වුණේ දැඩි කනස්සල්ලෙන්.
එය පුතු ද දැන සිටියත් සුදුස්සකු නොමැති තැන හිත ගිය සහකාරියක දෙසට ඔහුගේ නෙත ගැටුණා.
ඒ නිවාඩුවට ගෙදර ඇවිදින් බස් රථයක අහම්බෙන් ගමනක් යන අතරවාරයේදී.
ඔහුගේ අසුනේම තරුණියක වාඩි වුණාය. ඇයට ඔහු කතා කළා.
“නංගි ජොබ් එකක් කරනවාද?”
“ඔව් මං ටීචර් කෙනෙක්”
“කොහේද වැඩ කරන්නේ?”
“ඉස්සරහින් හමුවෙන පාසලේ ප්‍රාථමිකයේ මං උගන්වනවා.”
“කොහේද ඉන්නේ?”
“මම බස් එකට නැගපු තැනම ඇති අතුරු පාරේ හැරෙන තැනම ඇති ගෙදර.”
“ඔයා මැරි කරලද?”
“අපෝ නෑ. තව හිතලවත් නෑ.”
“මම කැමතියි ඔයා බඳින්න. මොකද කියන්නේ?”
“හා.. එහෙමද? එහෙනම් ගෙදර අම්මලාගෙන් අහන්න ඕනෑ. ඔයා එන්න ගෙදර.” ඇය කීවා.
ඔහු ඇයට සමීප වුණා.
ඔහු ඇයගේ අත අල්ලා ගත්තා ...
පිරිමැද්දා. ඇය ද සහයෝගය දුන්නා. ඔහු මුද්ද ගැලෙව්වා. ඇයට දී ඇයගේ අතින් එය ඔහුගේ අතට දා ගත්තා.
පසුව ඇය එම මුද්ද ගලවා ගත්තා. ඔහුට ඇයගේ අතට දමන්නට කීවා. ඔහුත් එය එලෙසම කළා. නියමයි. කිරලා මැනලා දැම්මා වගේ.
“ඒක ආයේ ගලවන්න එපා. ඔහොම තිබියදෙන්. ඔයා අපේ ගෙදර එන්න. මං කැමතියි නම් ගෙදරින් ප්‍රශ්නයක් නෑ.” ඇය කීවා.
ඔහු ඇයට සමු දුන්නා.
ඇය පාසල ඉදිරිපිටින් බැස්සා.
ඔහුගේ පවුම් බාගයක පමණ රන් මුද්ද ඇයගේ අතේ. ඔහු ඇයට වශී වූවා. එය ඇයටම දී නොපමාව එන බව පවසා ඔහුත් ඇයට යන්නට ඉඩ දුන්නා. ඔහු තම ගමන ගොස් ගෙදරට ආවා.
පියාට, මවට මෙන්ම පවුලේ හැමෝටම සහකාරියක හමු වූ පුවත සැල කර සිටියා. මව්පියන්ටද නිම් හිම් නැති සතුටක්. තම පුතු වැඩට යන්නට මත්තෙන් ඇයගේ ගෙවල් බලන්නට යාමට සැරසුණා.
තම නිවෙසට නුදුරු ගමක ඇති එම ඉසව්ව ඔවුහු සොයා ගියා. එවැනි නමක් ඇති පියකු හෝ ගුරුවරියක හතර දිග්බාගයක නැ. පසුව එකී පාසල සොයා ගියද, ඇය එහිද නැත.
වහසි බස්වලට පුතු අසුවී රන් මුදුවට ද කෙළවාගෙන ඇති බව වටහාගත් පියා ඇතුළු පිරිස වාහනයට නොදුටු මනාලියක වෙනුවෙන් හයර් එක ගෙවා හිස් අතින් ආපසු ගෙදරට ආවාලු.
දෙයියෝ සාක්කි