මේ වගේ වැහිබර කාලගුණය තියෙන දවස හවස්වරුවක උණු උණුවේ හදාගෙන කන්න රසම රස කෑමක් තමයි මේ පෑන් කේක් කියන්නේ...
ඉතිං ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමා මේකට අවශ්‍ය වෙන්නේ... බලන්නකෝ මොනවද ඕනි වෙන්නේ කියලා...
බැටර් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ...
පාන් පිටි - 200g
පොල් කිරි කෝප්ප - 1 1/2
කහ කුඩු - තේ හැඳි 1/4
බිත්තර - 01
රස පදමට ලුනු
පැණි පොල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය:
ගා ගත්ත පොල් - 100g
සීනි - 100g
කොටා ගත්ත කරදමුංගු ටිකක්
රස පදමට ලුණු
මෙහෙමයි හදන්නේ....
මුලින්ම අපි පැණි පොල් ටික හදා ගම්මු. ඒකට භාජනෙකට සීනි ටිකක් දාලා හොඳට රත් කරන්න.
සීනි ටික රත් වේගෙන එනකොට මේකට උණු වතුර ටිකක් දාලා කලවම් කරන්න.
සීනි ටික හොඳට උණු වෙලා පාට වෙලා එනකොට මේකට කොටා ගත්ත කරදමුංගු ටිකයි ලුණු ටිකයි දා ගන්න.
ඊලගට ඉතුරු සීනි ටික දාලා දිය කර ගන්න.
පැණි ටික හොඳට උණු වෙලා බුබුළු දාගෙන එනකොට පොල් ටික දාලා කලවම් කර ගන්න.
පොල් වල වතුර ගතිය වගේ යනකම් ලිපේ තියලා ඊට පස්සේ ලිපෙන් අයින් කරලා පැත්තකින් තියා ගන්න.
දැන් අපි පෑන් කේක් එකේ බැටර් එක හදා ගම්මු. ඒකට මුලින්ම පොල් කිරි ටිකයි, බිත්තරෙයි, ලුණුයි, කහ කුඩු ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
ඊළගට පිටි ටික දාලා කලවම් කර ගන්න.
පිටි වල කැට ගතිය යනකන්ම කලවම් කර ගන්න. කලවම් කර ගෙන ඉවර උනාට පස්සේ පිටි කැට වගේ ඉතුරු වෙලා තියනවනම් මේ බැටර් එක හොඳට පෙරලා ගන්න.
දැන් පෑන් එකක් අරගෙන ඒකට බැටර් එකෙන් ටිකක් දාලා තුනී රවුමක් වගේ හදා ගන්න. නොඇලෙන පෑන් එකක් නම් පහසුයි...
පෑන් කේක් එකේ එක පැත්තක් හරි ගියාට පස්සේ අනිත් පැත්ත හරවා ගන්න.
මේ පෑන් කේක් එක වැඩිය ඝණකමට හදන්නේ නැති හින්දා විනාඩියකටත් වඩා අඩු කාලෙකින් අපිට පෑන් කේක් එකක් හදා ගන්න පුළුවන්.
ඔක්කොම පෑන් කේක් ටික හදලා ඉවර උනාට පස්සේ මේ පෑන් කේක් මැද්දෙන් පැණි පොල් ටික ටික තියලා රවුම් කර ගන්න.
දැන් මේ රසවත් පෑන් කේක් හදලා ඉවරයි... ලස්සනට ප්ලේට් එකක තියලා උණු උණුවේ තේ එක්ක රහ බලන්න පුදුම රස කෑමක්.. හදලා බලන්නකෝ ...