මේ ඇය ඔහු වෙනුවෙන් තැබූ ආදරණීය සටහන...
''ඇතැම් දින ගෙවී යන තෙක් අපි බලා සිටින්නෙමු. එහෙත් ඇතැම් දින එළඹෙනා තෙක් අපි ඇඟිළි ගනින්නෙමු.
මුළු අවුරුද්දක් පුරා මා නොඉවසිල්ලෙන් මඟ බලා සිටි ඒ අසිරිමත් දිනය අදයි. මගේ මුළු ලෝකයම ආලෝකවත් කළ, මගේ හදවතේ රිද්මය වූ ඔබ මෙලොවට බිහි වූ ඒ වාසනාවන්ත දවස අදයි.
මම මගේ ප්‍රේමයෙහි වපසරිය නොදනිමි. එය අහස තෙක්ද, සාගරය තෙක්ද, එසේත් නැතිනම් සිතිජය තෙක්දැයි මම නොසොයමි. මා දන්නේ මා විසල් පුරුෂයෙකුට අසීමිතව ප්‍රේම කරන බව පමණි. ඔබ සමඟ ගෙවන සෑම තත්පරයක්ම මට ගීතයක සුන්දරම තනුවක් මැද සරන්නාක් මෙන් සොඳුරු අත්දැකීමකි.
අපේ ජීවන චාරිකාව හරිම සමබරය. දුක් කරදර, අයස මෙන්ම යසසද අපට පුරුදුය. උපේක්ෂාවත්, සන්තෝෂයත් අපට ආගන්තුක නැත. ජීවිතය කියන මේ මහා තිළිණය අර්ථවත් කළේ ඔබයි. මා සිනාසෙන්නටත්, ඕනෑම අභියෝගයක් දරා ගන්නටත් ඉගෙන ගත්තේ ඔබේ ඒ ශක්තිමත් සෙවණැල්ල යටදීය.
"ආදර රත්නේ, මගේ ජීවන ගීතයේ රිද්මය මා හැඳින්නේ ඔබෙනි. මා යළි උපත ලැබුවේ ඔබෙනි. ඔබ මගේ දිවියේ ආලෝකයයි, මා සැනසෙන එකම නිවහනයි. මා ප්‍රාණසම ප්‍රේමයයි..."
පතන සියලු පැතුම් ඒ අයුරින්ම ඉටු වන, සතුට පිරුණු සුබම සුබ උපන්දිනයක් වේවා මගේ රත්නේ! මෙතේ බුදුන් දකිනා ජාති දක්වාම මගේම වී මා අසලින්ම හිඳින්න...''
