ඊයේ රාත්‍රියේ සිට මුළු මහත් ක්‍රිකට් ලෝකයම කම්පාවට පත්කර ඇති මේ සිදුවීම දෛවයේ සරදමක් ලෙසින් ලියා තැබිය යුතු කතාවක්. තම ඇෆ්ගන් ඉනිමේදී පිට පිට එල්ල වූ හයේ පහරවල් ඇත්තෙන්ම දුනිත්ව බිඳ දමන්න සමත් වූයේ නැහැ. ඒ රැයේ තව කඩුල්ලක් බිඳ වැටුණහොත් ඊළඟට පිටියට පිවිසීමේ බලාපොරොත්තු සහිතව ඔහු තරගය දෙස බලා සිටියා.
ඇත්තෙන්ම දුනිත්ට සිදුව ඇති කිසිවක් පිළිබඳ අදහසක් තිබුණේ නැහැ. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් ගැහුණු රිද්මයෙන්ම ඔහුගේ හදවතත් ගැහුණාට සැකයක් නැහැ.
අවසන් පන්දුවට එල්ල කළ හතරේ පහරත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිවන ඇසිල්ලේ, ශ්‍රී ලංකා කළමනාකාරිත්වයට තරුණයෙකුට ජීවිතයේ ලබා දිය හැකි බිහිසුණුම ආරංචිය ලබා දීමට සිදුවුණා. ඇත්තෙන්ම ඔවුන් මුලින්ම දුනිත්ට පවසා තිබුණේ පියා හදිසි අසනීප තත්ත්වයකින් පෙළෙන බවයි.
ඒත් ඊළඟ මොහොතේ ඔවුන්ට දුනිත්ට සත්‍යයම කියන්න සිදුවුණා. කළමනාකරු, නායකයා, පුහුණුකරු සහ ක්‍රීඩකයින් ඔහු අසල සිටියා. ජයග්‍රහණයේ සතුටින් ක්‍රීඩාගාරය වෙත කැමරා මානගත් ප්‍රේක්ෂකයෝ සිටි නිසාම, මේ වේදනාබර ආරංචිය දුනිත් දරාගත් ආකාරය ක්‍රිකට් ඉතිහාසයට එකතු වූයේ අප කිසිවෙකුටත් නොදැනීමයි.