මරදන්කඩවල ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටි 09 හැවිරිදි දැරියක් ඊයේ (19) පස්වරුවේ කිඹුලෙකු ඩැහැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව සොයාගෙන රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
මෙම දැරිය සිය මිත්තනිය සමග වැවට ගොස් ඇති අතර, වැවෙහි නාන මංකඩකදී දියනාමින් සිටයදීයි මෙසේ කිඹුලෙකු ඇයව ඩැහැගෙන ගොස් ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ, ගනේවල්පොල හීණුක්කිරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 04 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක්.
සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව තිබිණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට හා ගනේවල්පොල වනජීවී කාර්යාලයට ද දැන්වීමට කටයුතු කර ඇති බව සඳහන්.
අනතුරුව ප්‍රදේශවාසීන් හා පොලිසිය ඇතුළු පිරිස් එක්ව සිදුකළ පැය 04ක පමණ සෝදිසි මෙහෙයුමකින් පසුවයි සවස් වන විට කිඹුල් ප්‍රහාරයට ලක්වූ එම දැරිය සොයා ගැනීමට හැකිවී ඇත්තේ.
කිඹුලාගෙන් බේරාගත් දැරිය කඩිනමින් මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එම දැරිය රෝහල් ගතකරන අවස්ථාවේ දී මෙලෙස අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශණ සිදුකරනවා.