ඇයත් අන්න ඒ වගේ තරුණියක්.. සමාජමාධ්‍ය තුළ මේ වන විට ජනප්‍රිය වී ඇති ඒ යෞවනිය කවුද..? ප්‍රතික්ෂේප කිරීම් හමුවේ සැලෙන්නේ නැතිව, අභියෝගවලට රිදෙන්නම උත්තර දීපු මේ දිරිය දියණිය ඇය ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..
"මම ඉඳගන්න මේසෙ මං ගාව මිනී ගඳයි කියලා අනිත් මේසවලින් ඈත් කළා. ගෙදරකට ගියාම බොන්න වතුර පොදක් දෙන්නවත් සමහරු මැලි වුණා..." ඉගෙන ගන්න කාලේ තමන්ගේ පියා එම්බාම්කරුවෙකු වීම නිසා පාසලේ යාළුවන්ගේ උසුළු විසුළුවලට, කොන් කිරීම්වලට ඇය ලක්වුණා. ඒ වේදනාව දරාගන්න බැරි තැන ඇයට අධ්‍යාපනය පවා අතරමග නතර කරන්න සිද්ධ වුණා.
නමුත් ඇය වැටුණේ නැහැ..
වයස 13 දී මුලින්ම මෘත දේහයක් සංරක්ෂණය කරනවා දැකපු ස්නේහා, වයස 17 දී තමන්ගේ පළමු එම්බාම් කිරීම සාර්ථකව සිදු කරනවා. ඒ ස්වාමීන් වහන්සේ නමක්ව.
"ගොඩක් අය අහනවා කෙල්ලෙක් වෙලත් මේ වගේ වැඩ කරන්න බය නැද්ද කියලා.. ඇත්තටම එහෙම බය වෙන්න දෙයක් නැ. අපි හැමෝටම අවසානේ මල්ශාලාවට එන්නම වෙනවා. ඒක තමා යථාර්ථය.."
අද වන විට 19 හැවිරිදි වියේ පසුවන ඇය, මෘත දේහයන් 70-80ක් පමණ අවසන් කටයුතු කර ඇති දක්ෂ වෘත්තිකයෙක්. විශේෂත්වය වෙන්නේ ඇය රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරුවේ ජීවතුන් අතර ඉන්න අය ලස්සන කරන්න නෙවෙයි, අවසන් ගමන් යන මිනිසුන්ගේ රූපය ඉතා ගෞරවනීය ලෙස සහ ලස්සනට සකස් කරන්නයි.
අද ඇයට ඇයගේම කියා ව්‍යාපාරයක් තිබෙනවා. සමාජය ඇයව කොන් කළ ඒ වෘත්තියෙන්ම ඇය අද ජීවිතය ජයගෙන අවසන්.
සමාජමාධ්‍ය ඇසුරෙන්..