විශ්‍රාමික බැංකු නිලධාරියෙකුට අයත් රුපියල් ලක්ෂ 80කට අධික වටිනාකමකින් යුත් මෝටර් රථය සහ බැංකු කාඩ්පත (ATM) රැගෙන අතුරුදන්ව සිටි රියදුරෙකු මෝටර් රථයද සමග අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වාහන බ්‍රෝකර්වරයෙකු බවයි පොලිසිය පවසන්නේ.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන්, බොරලැස්ගමුවේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික බැංකු නිලධාරියා පසුගිය 16 වැනිදා සිය මෝටර් රථයට ඉන්ධන ලබාගෙන එන ලෙස රියදුරාට පවසා ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට සිය ATM කාඩ්පතද ඔහු රියදුරා වෙත ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, එදිනම පස්වරුවේ කැස්බෑව ප්‍රදේශයේ ඉන්ධන හලකින් රුපියල් 9,000ක ඉන්ධන ලබාගත් බවට බැංකු නිලධාරියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබී ඇති අතර, ඉන් පසුව රියදුරා සහ මෝටර් රථය අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ,.
අනතුරුව, රියදුරාගේ දුරකථනයද ක්‍රියාවිරහිත කර තිබීම නිසා බැංකු නිලධාරියා පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.
බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර ඇති බවයි.
විශේෂයෙන්ම පාලටුව අධිවේගී පිවිසුමේදී ප්‍රවේශ පත්‍රය සඳහා මුදල් ගෙවා ඇත්තේද අදාළ ATM කාඩ්පත භාවිතා කරමින් බව මෙහිදී හෙළිවී තිබෙනවා.
ඒ අනුව, දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත යොමු කළ පණිවිඩයකට අනුව, හක්මන පොලිසිය විසින් සැකකරු මෝටර් රථයද සමඟ හක්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිසිය වෙත භාර දී ඇති අතර, පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ තමන්ට රථය පැහැර ගැනීමේ චේතනාවක් නොවූ බවත්, බිරිඳගේ ගම් ප්‍රදේශයට යාම සඳහා මෙලෙස රථය රැගෙන ආ බවයි.
බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.