අකුරේගොඩ, තලංගම - පසුගිය සිකුරාදා පස්වරුවේ මුළු රටම කැළඹූ අකුරේගොඩ නීතිඥ යුවළගේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අතිශය තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතිනවා.
පොලිස් කණ්ඩායම් 12ක් යොදවා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුව, සිද්ධියට සෘජුවම සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු නීතියේ දැලට හසුකර ගැනීමට බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබුණා.
මෙම ඝාතනයේ ඇති විශේෂිතම සහ කුතුහලය දනවන කරුණ වන්නේ සැකකරුවන් අපරාධයෙන් පසුව ක්‍රියා කළ ආකාරයයි.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව තමන් කොටුවනු ඇතැයි බියෙන් සැකකරුවන් සිය ජංගම දුරකථනවල තිබූ සියලුම දත්ත (Data) මකා දමා ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
විමර්ශන කණ්ඩායම් පවසන්නේ මෙය දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් තමන්ව හඳුනාගැනීම වැළැක්වීම සඳහා ඔවුන් ගත් සූක්ෂ්ම උත්සාහයක් බවයි.
පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පිරිස අතර ඝාතනය සඳහා භාවිතා කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ව කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත, ඊයේ පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී 'ඩිලා' නැමැති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙම සොහොයුරන් දෙදෙනා මෙහෙයවා ඇත්තේ 'ඩිලා' විසින් බවත්, ගිනිඅවි ප්‍රවාහනයට ඔහුද සෘජුවම දායක වී ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට පෙර අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබී තිබූ අතර, අද දින ඔවුන් තිදෙනාම සම්බන්ධයෙන් අධිකරණය ගන්නා තීන්දුව කෙරෙහි සැමගේ අවධානය යොමුව පවතී.