ඔයාට මේ පිනම ඇති නිවන් දකින්න” යැයි ඉත්තෑපාන "මිගිහින්වත්තේ පුංචි වෙද නෝනා"ගේ හදිසි වියෝව දරාගත නොහැකිව ඇගේ දේහය අසල රැස්ව සිටි බොහෝ පිරිසක් කඳුළු සලමින් කියන්නට වූයේ එලෙසින්.
උපතින්ම වෙදකම දෝතට ගෙන පැමිණි පුංචි වෙද නෝනා අද සදහටම දෙනෙත් පියාගෙන සාලය මැද සැතපී සිටින්නේ සියල්ලන්ම හඬවමින්. ඒ නොසිතූ ලෙස හදුනා නොගත් රෝගයකට ගොදුරු වීමෙන්.
තවමත් 20 හැවිරිදි වියේ සිටි ඩී. වී. සඳුනි නිසංසලා කාගෙත් ආදරය දිනාගත් දියණියක්. සර්ප දෂ්ඨනයට ලක් වූ රෝගීන් සුවපත් කිරීමේ මහඟු මෙහෙවරක නිරත වී සිටි ඇය ප්‍රදේශය පුරා ජනප්‍රිය වූයේ "මිගිහින් වත්තේ පුංචි වෙද නෝනා" යන නමින්.
වසර සීයකට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මිගිහින්වත්තේ ඩී. වී. සීමන් සමරසිංහ සර්ප වෙදමහතා ඇගේ සීයායි. ඔහු එම ප්‍රදේශයේ සිටි ඉතාම දක්ෂ පාරම්පරික සර්ප වෙද මහතෙකු ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත්ව සිටියා. සීයාගෙන් පසුව වෙදකම ඉදිරියට රැගෙන යාමට ඉදිරිපත්ව සිටියේ සඳුනිය. ඇය, ඇගේ පියාටත් වඩා එම කාර්යයේදී සිටින්නේ පියවර කීපයක්ම ඉදිරියෙන්.
ඉඩම් හිමි වැවිලිකරුවකු වන සේනාරත්න සමරසිංහ (68) සහ ගෘහණියක වන එම්. බී. රංජනී (56) යුවළට සිටි දරුවන් දෙදෙනාගෙන් වැඩිමලා වූයේ සඳුනියි. කෙවිටියාගල මහා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය ලබන සිතුම් සත්තර (17) ඇගේ බාල සහෝදරයා.
කෙවිටියාගල මහා විද්‍යාලයෙන් අපොස සාපෙළ දක්වා අධ්‍යාපනය ලබාගත් සඳුනි උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගත්තේ මතුගම ශාන්ත මේරි විද්‍යාලයෙන්.
කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි, පාඨමාලාවකට ඉල්ලුම් කර ඇති ඇයට ඒ සඳහා සහභාගීවීමට මේ මාසයේදී අවස්ථාව ලැබී තිබුණත් මරුවාගෙන් එයට ඉඩක් ලැබුණේ නැත.
නිවෙසට රෝගීන් රැගෙන ආ විට ප්‍රතිකාර කරන සීයා ළඟට වී බලා සිටි සඳුනි කුඩා කාලයේ සිටම ඒ සඳහා දැක්වූයේ දැඩි ඇල්මක්. ඇය හා හා පුරා කියා රෝගියකුට ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ වයස අවුරුදු 06ක් වැනි ඉතා කුඩා අවධියේදී වීම විශේෂත්වයක්.
“අම්මේ මං අද තමයි හරියටම අනිත්‍ය අවබෝධ කරගත්තේ. මට අම්මවවත් අම්මට මමවත් අයිති නැති මේ ලෝකේ තවත් මොනවද අපට ඉතුරු වෙන්නේ. මං අම්මා වෙනුවෙන් කවදාවත් අඬන්නේ නැහැ අම්මේ. මට ඕන දෙයක් අත්හරින්න හරි පහසුයි. මං හැම තිස්සෙම බුදුගුණ වඩනවා අම්මේ”
20 හැවිරිදි තරුණියකගේ මුවින් මෙවැනි වදන් වැලක් පිටවේ යැයි කිසිවකු නොසිතන බව සැබෑය. එහෙත් ඇගේ මුවින් නිතරම පිටවූයේ ජීවිතයේ නිස්සාර බව පිළිබඳ කතා බව ඇගේ දෙමාපියන් පැවසුවා.
පසුගිය වසරේ අවසාන පෝයට සිල් සමාදන්ව දීර්ඝ වෙලාවක් භාවනාවේ යෙදුණු ඈ, සිය මවට එලෙස පවසා ඇත්තේ යම්කිසි සත්‍යයක් ඉවෙන් මෙන් දැනගෙන විය යුතුය.
ගමේ විහාරස්ථානය ඇසුරේ හැදී වැඩුණු සඳුනි නිතරම පින් දහම් කරමින් කාලය ගත කළේ අසරණ රෝගීන්ට ලබා දිය හැකි උපරිම සත්කාරය ලබා දෙමින්.
සර්ප දෂ්ඨනයෙන් අසාධ්‍යව පැමිණෙන රෝගීන් විශාල පිරිසකට ජීවිතය ලබා දුන් පුංචි වෙද නෝනා පිළිබඳ ඇගේ මව පැවසුවේ මෙවැන්නක්.
“මගේ දුව හරි කරුණාවන්ත අහිංසක ළමයෙක්. එයා හැමෝටම එක විදිහට සලකනවා. දුවගේ සීයා ඒ කියන්නෙ දුවගේ තාත්තගේ තාත්තා මේ පැත්තට හිටිය පලපුරුදු හොද සර්ප වෙද මහත්තයෙක්. එයා නැති වුණේ කොරෝනා කාලෙදි. අවුරුදු 98 යි එතකොට. ඒ කාලෙ දුවගේ තාත්තත් සීයත් එක්ක වෙදකම් කරනවා. දුවත් ළඟට වෙලා බලා ඉන්නවා. එහෙම ඉන්නකොට දුව ටික ටික ඒ වැඩවලට හුරු වුණා.
සීයත් තේරුම් ගත්තා දුවට වෙදකම පිහිටලා තියෙනවා කියලා. ලෙඩෙක් ආවම සීයා බාගෙට විස බස්සලා දරුවට දෙනවා ඉතුරු ටික සම්පූර්ණ කරන්න. ඒ විදියට අවුරුදු හයේ දී විතර තමයි එයා සර්ප වෙදකම පටන් ගත්තේ. දුව, දුවගේ තාත්තටත් වඩා ඉස්සරහින් ඉන්නවා කියලා සීයා තේරුම් අරන් තිබුණා.
ඒ නිසා කෙම් ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර ඇතුළු ඒ සාස්තර සේරම දුවට ඉගැන්නුවා. ලොකු පොඩි ඕනම සතෙක් දෂ්ට කරලා ගෙනාවම දුව තමා වෙදකම් කරන්නේ. එයා එකපාරටම වෙදකමට යන්නේ නැහැ. මුලින්ම ලෙඩාගේ බය නැති කරලා සුහදව කතා බහ කරලා එයාගේ හිත හදනවා.
ඊට පස්සේ මතුරලා දුම් අල්ලලා විස පාලනය කරලා තමයි බෙහෙත් කරන්නේ. ගෙදර අපි හැමෝම උදව් කරනවා. මුළු ශරීරයේම දුවන විස කාපු තැනට අරන් බෙහෙත්වලින් ඉතුරු කොටස තමයි සුව කරන්නේ. කවදාවත් විස උරලා නැහැ. මතුරලා ඇඟිලි තුඩුවලින් පොළොවට තට්ටු කරලා බිමට තමයි විස අයින් කරන්නේ. සමහර දවසට සර්පයො දෂ්ට කරලා දෙන්නා තුන්දෙනා අරන් එනවා. බෙහෙත් කොටලා කරපිංචා කැඳ බොන්න හදලා දීලා එළිවෙනකන් අපි ඇහැරිලා හිටිය දවසුත් තියෙනවා.
තාත්තගේ කාලෙ ඉඳලා කවදාවත් සල්ලි බලාගෙන වෙදකම කරලා නෑ. දුවත් එහෙමයි. එයා සර්ප විෂ ගැන තවදුරටත් ඉගෙන ගන්න තමයි හිතාගෙන හිටියේ.
වෙදකම් කරන කොට විශ්වයෙන් දුවට ලොකු බලවේගයක් තිබුණා. එයා දූත ලක්ෂණවලින් වෙදකම පටන් ගන්න හදනකොට තමයි මේ අසනීප ඇති වුණේ.
දුවට මුලින්ම අව්ව බලන්න බැරුව ඇහේ අමාරුවක් ඇතිවුණා. අපි ඒකට වෙදකම් කළා. ඇරුනේ නැහැ. එයාගේ ඇහේ කළු ඉංගිරියාව ඇහැ කොණට ආවා. අපි ඒ ගමන ඇස් වාට්ටු ගියා. පරීක්ෂණ කළත් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළා. හැම පරීක්ෂණයක්ම කළා. අන්තිමට හාට් එකේ සියයට හැටෙන් විස්සයි වැඩ කරන්නේ කියලා හොයාගෙන තිබුණා.
ගිය මාසෙ 11 ඉදල මේ මාසේ 08 වෙනකම් කොළඹ මහ ඉස්පිරිතාලෙයි දුව හිටියේ. අන්තිමට දුව අයිසූ එකේදි තමයි නැති වුණේ. එයා ලෙඩේ දැනගත්තට පස්සේ කිසි බයක් උනේ නෑ. ඇඬුවේ නැහැ. මම ගියාම මූණ දිහා බලාගෙන ඉන්නවා. මොකුත් කියන්නේ නැහැ.
පිටරට හරි ගෙනිහින් අපි ඔයාව සනීප කරනවා කියලා මම කිව්වා. පුළුවන් නම් හොඳයි අම්මා කිව්වා. නැති වෙන්න කලින් දවසේ යාලුවන්ටයි නෑදෑයින්ටයි හැමෝටම මැසේජ් දාලා. මල්ලිට කියලා තිබුණා අම්මව හොඳින් බලාගන්න කියලා. මං නැති උනාට අම්මට මල්ලි ඉන්නවනේ කියලා තිබුණා. එයා හැමදේම දැනගෙන ඒකට සැහැල්ලුවෙන් මූණ දෙන්න සූදානම් වෙලා තිබුණා. දුව හොඳ සිහියෙන් ඇති වුණෙ. මට හරි මහන්සියි අම්මෙ කියලා විතරයි කිව්වේ. එයා හොඳ තැනක ඇති. මට ඒක විශ්වාසයි.”
ගමට රටට විශාල සේවයක් සිදු කළ සඳුනි නිසංසලා පොඩි වෙද නෝනාගෙන් සුවපත් වූ බොහෝ පිරිසක් කඳුළු සලමින් ඇයට අවසන් ගෞරව දැක්වීමට ගොඩකන්ද පාරේ නිවෙසට එක් රොක් වූයේ මිල කළ නොහැකි ඇගේ සේවය කොතෙක්දැයි පැහැදිලි කරමිණි.
පැලවත්ත, පොල්ගම්පල, අගලවත්ත, ඉත්තෑපාන, මතුගම පමණක් නොව කළුතර දිස්ත්‍රික්කය පුරාම ප්‍රසිද්ධියට පත් මිගිහින්වත්ත සමරසිංහ සර්ප වෙද පරපුරයෙහි අවසන් පුරුක මේ අයුරින් අහිමි වීම රටටම දරාගත නොහැකි පාඩුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.