කාබුල් සිට දිල්ලිය දක්වා ගමන් කරන ගුවන් යානයක රෝද කුටියේ සැඟවී පැමිණි 13 හැවිරිදි ඇෆ්ගනිස්ථාන පිරිමි ළමයෙකු පිළිබඳ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරිදා දින පස්වරු 11:10ට පමණ දිල්ලි ගුවන්තොටුපළට පැමිණි Kam Airlines හි RQ-4401 දරණ ගුවන් යානයේ රෝද කුටියේ සැඟවී මෙම පිරිමි ළමයා පැමිණ තිබෙන බව ඉන්දීය මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ (CISF) ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.
අදාළ ගුවන් යානය ගොඩබෑමෙන් පසු ගුවන්තොටුපළ ආසන්නයේ සැරිසරමින් සිටි මෙම පිරිමි ළමයා පොලිසිය විසින් දැක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඔහුව ප්‍රශ්න කිරීම් වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා ගුවන් යානයේ පිටුපස මධ්‍යම ගොඩබෑමේ ගියර් මැදිරිය තුළ සැගව සිටි බවයි.
ගුවන් සේවා නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී, පිරිමි ළමයාට අයත් කුඩා රතු පැහැති ස්පීකරයක් ද සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පුවත්පතක් වාර්තා කර තිබෙන්නේ, මෙම 13 හැවිරිදි පිරිමි ළමයා ඉරානයට යාමට අපේක්ෂාවෙන් සිටි නමුත්, තමා ගොඩ වූ ගුවන් යානය දිල්ලියට බව දැන නොසිටි බවයි.
ඔහු කාබුල් ගුවන්තොටුපළට පැමිණ, මගීන් පිරිසක් පසුපස ගොස් ගුවන් යානයේ පිටුපස රෝද කුටියේ සැඟවී ඇති බවයි වාර්තා වන්නේ.
මෑත කාලයේදී තම මව් රටවලින් පලායන පුද්ගලයින් අමෙරිකාවට හෝ යුරෝපයට ගමන් කරන ගුවන් යානාවල මෙලෙස සැඟවී ගමන් කිරීමේ සිදුවීම් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
නමුත් ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් දිවි ගලවා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරන විශේෂඥයින් විදෙස් මාධ්‍යට පවසන්නේ, මෙවැනි ගුවන් ගමන්වලින් දිවි ගලවා ගන්නා බොහෝ දෙනෙක්, ගුවන් යානය ගොඩබෑමේදී සිහිය නැති වී සිටින නිසා ගුවන් යානයේ රෝද පිටතට පැමිණවීමේදී පහළට වැටී මියයාමේ අවදානමකට ලක් වන බවයි.