සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ කාණ්ඩ 02 කින් යුක්ත 'ගේය කාව්‍ය කර්තෘවරු' කෘතිය එළැඹෙන 16 වැනිදා එළි දැක්වීමට නියමිතයි.
ඒ කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී.
ප්‍රකට ගීත ලියු අප්‍රකට රචකයන් පිළිබඳ තොරතුරු මෙන්ම ප්‍රකට රචකයන් ලියු අප්‍රකට ගීත පිළිබඳ තොරතුරු රැසක් මෙම කෘතියේ අන්තර්ගතයි.
එමෙන්ම, කෘතිය එළිදැක්වීම නිමිති කොටගෙන ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන සංගීත සන්ධ්‍යාවක් ද එදින පවත්වන්නට නියමිතයි.
මෙහිදී නිදර්ශන ගායනා ඉදිරිපත් කරන්නට උරේෂා රවිහාරි සමඟ ක්‍රිෂාන්ත එරන්දක එක්වෙනවා.
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම කෘති ද්විත්වය...
ගේය කාව්‍ය කර්තෘවරු නමින් ප්‍රකාශයට පත් ව ඇති මෙම කෘති කීර්‍තනයෙහි (Blurb) මෙලෙස සඳහන් වී තිබේ.
''ඔහු ලියන තාලයේ පොත් කවුරුවත් ලියන්නේ නැත. කවුරුත් ලියන තාලයේ පොත් ඔහු ලියන්නේ නැත. ඔහු ග්රන්ථකරණය සඳහා තෝරා ගන්නේ කිසිවෙකුගේ ඇස නො ගැටෙන මාතෘකා ය. ඔහු සින්දු යන දෙමළ වචනය ගැන පොතක් ම ලිව්වේ ය.බයිලා, කැරොල්, පසම් කන්තාරු, ග්රැමෆෝන් ගී වැනි මාතෘකා මෙන් ම ලෞජි, මුත්තුසාමි, රොක්සාමි, සාලි, සමරදිවාකර වැනි මාතෘකා ද ඔහුගේ ග්රන්ථ නාම අතර වේ.
ජාතික ගීයෙහි නිර්මාතෘවර ආනන්ද සමරකෝන් ගැන පවා ඔහු ලියනතුරු කිසිවෙක් කිසිවක් ලියා තිබුණේ නැත. මෙම ගේය කාව්‍ය කර්තෘවරු ද ඒ පොත් සමූහයට ම අයත් වන්නා වූ කෘතී ය.’ කවුරුත් නොලියන තාලයේ, ඔහුටම අනන්‍ය වූ ලිවීම් සහිත මෙම කෘති ද්වයේ දී අප හමුවට එන ගේය කාව්‍ය කර්තෘවරු දොළොස් දෙනාගේ නිර්මාණ විඳුම් ලොව විනිවිද දකින ගේය කාව්‍යක්කාරයකු ගේ හා ශාස්ත්රවන්තයකු ගේ විශ්ලේෂණ ප්‍රභාව මොනොවට ප්‍රදර්ශනය වන බව පවසමි.
පූර්වයෙහි පළ කෙරුණු අපදාන පොත් පෙළ ඔස්සේ මොහොමඩ් ගවුස්, බී.එස්.පෙරේරා ගේ සිට මුත්තුසාමි, රොක්සාමි, එඩ්වින් සමරදිවාකර හා ආර්.ඒ.චන්ද්‍රසේන, සෝමදාස ඇල්විටිගල හා පී.ඩන්ස්ටන් ද සිල්වා, පී.එල්.ඒ.සෝමපාල හා මොහමඩ් සාලි , විශ්වනාත් ලෞජි, සාදිරිස් මාස්ටර්, රූපසිංහ මාස්ටර්, ඇම්.ජී.පෙරේරා, ලයනල් එදිරිසිංහ, ඩබ්.බී.මකුලොලුව, සී.ද ඇස්. කුලතිලක, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, ලයනල් අල්ගම හා ඔස්ටින් මුණසිංහ ආදී වූ සංගීත නිර්මාණකරුවන් වූවත් මෙම සංගීතඥයන් විසින් නිර්මාණය කරන ලද ගේය කාව්‍ය සංකල්පනාවන් හි හිමිකරුවන් කවුරුන් ද යන්න දැන ගැනීමට ශ්‍රාවක රසික සමූහයාගේ වූ මන දොළ සපිරීමක් ලෙස මෙම ග්රන්ථ ද්වය හඳුන්වමි.