ඇසෙන නෑසෙන දුරක ඉන්න එයාලාගේ ලෝකේ වීරයාට මේ කතාව දැන් ඇහෙනවා ඇති නේද..?
දරුවෙක් කොහොම නම් ඒ සුවඳ අමතක කරන්නද..?
දුවෙක් වුණත් පුතෙක් වුණත් තාත්තෙක් කියන්නේ එයාලාගේ ලෝකේ ඉන්න ලොකුම සහ මුල්ම වීරයා.. මාධවීටත් කසුන්ටත් දැන් තාත්තාගේ ආදරය කියන්නේ ලබා ගන්න බැරි , ඒත් මතක් කරලා විඳින්න පුළුවන් දෙයක් විතරයි... කසුන් කියන්නේ හදවතට එන ඕනම දෙයක් වචන කරන්න පුළුවන් හැබෑම දක්ෂයෙක්.. කසුන්ගේ තාත්තාගේ නික්ම යාමෙන් මාස 3කට පස්සේ ඔහු මෙන්න මේ විදිහේ සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා...
"තාත්තේ...
'තාත්තා නික්ම ගිහින් තුන් මාසයයි'
අහම්බෙන් හරි දැක්කොත්
කොහෙදිහරි 'අර්ජුන රණතුංග' මාරුවෙමි
ඇහුණොතින් කොහෙන් හෝ 'එච්.ආර්.ජෝතී'
මොහොතකට බීරිවෙමි
කහට වැඩි තේකක් - සැර පාට ලුණුමිරිසක්
ගෑවුණොත් තොල සපාගමී
තාත්තා ආස කළ දෑ නොදැනෙන්න ගල් වෙමි .
පත්තර ලෑලි පහුවෙද්දි දෙපා ඉබි යතුරු දා වසමි
ශිවනරින් සඳපෝල් මතකයට එද්දී අමතක කරමි
සිංහල සිනමාව ගැන ලියවිච්ච පොත් නොපෙරළමි
ක්‍රිකට් මැච් පෙන්නද්දි පුළුල් තිර ටීවී එක වසාලමි
තාත්තා ආස කළ දෑ නොපෙනෙන්න අන්ධ වෙමි.
ඉඳහිටක හරි මහගෙදර හිටියොත් නොනින්දේ පසුවෙමි
කිරිගහට ඇන්නාක් සේ සිගරට් හත අටක් හිස් කරමි
කුඩා කල මා සමඟ සෑම තැන බෝල ගැසු හිනා හඬ අසමි
ජනෙල් එක දෙක බිඳෙද්දිත් සන්සුන්ව හිටපු හැටි මවාගමි
තාත්තා ආස කළ දෑ කෑ ගසා නොකියන්න ගොළු වෙමි.
හත්දවස තුන් මාසෙ අවුරුද්ද වේගයෙන් පසුවෙනා බව දැන ඉමි
අතින් අල්ලන් මචං මේ මගෙ පුතා කියනා කෙනෙක් නැතියෙන් තැවෙමි
පුංචි කාලේ මාව හැප්පූ රියැදුරෙක් බෙල්ලෙන්ම අල්ලාන ආ ගති දනිමි
ලංකාව තිතක් නම් මගේ විශ්වය නැතිව හුස්ම ගනිමින් මියෙමි !
කසුන් මහේන්ද්‍ර හීනටිගල"