ශ්‍රී ලාංකේය ඉන්දික විවාපත්ව සිටියේ ක්‍රිස්ටි ලී නමැති ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව සමගය. පසුගිය මාස ගණනක සිට ක්‍රිස්ටි සිටියේ ඉන්දිකගෙන් වෙන් වී ය. මාධ්‍ය වාර්තා කළ ආකාරයට සිකුරාදා සවස දරුවන් රැගෙන යෑමට පැමිණි ක්‍රිස්ටි දරුවන් නියමිත වෙලාවට නොපැමිණීම හේතුවෙන් හන්ටින්ඩේල් හි එසින්ටන් වීදියේ සැමියාගේ නිවෙස ට පොලිසිය කැඳෙව්වාය.
ඒවන විට වෙලාව සවස 6.35ට ඇත. නිවෙසට ඇතුළු වූ පොලිසිය දැක තිබුණේ නිදි ඇඳේ මිය ගොස් සිටි ක්‍රිස්ටි සහ ඉන්දිකගේ හය හැවිරිදි පුතු කොහාන්, සිවු හැවිරිදි දියණිය ලිලී සහ එරට මාධ්‍ය වාර්තා කළ අන්දමට ගරාජයේ සිය දිවි නසා ගෙන ඇතැයි කියන ඉන්දික ගේ සිරුරය.
සිදු වී තිබුණු ඛේදවාචකය ගැන අසල්වැසියන් කිසිවෙක් දැනගෙන සිටියේ නැත. ඔවුන් සිටියේ කම්පනයෙනි. ඔවුන්ට ඉන්දිකගේ නිවෙස ගැන තිබුණේ ‘හරිම නිස්කලංක තැනක්‘ යන්නය.
සිකුරාදා ප්‍රමාදවී පොලිසිය ප්‍රකාශයක් නිකුත් කළේය. සහකාර කොමසාරිස් ඇලන් ඇඩම්ස් කීවේ මෙසේය. “පොලිසිය අපරාධ දකින්න සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න පුහුණුවක් ලබා තිබුණත් මේ සිදුවීමෙන් අපත් බෙහෙවින්ම කම්පනයට පත්වුණා. දැනට ඇති තොරතුරු අනුව අප මේ අපරාධයට බාහිර සම්බන්ධතාවක් ඇතැයි සිතන්නෙ නෑ. “විමර්ශන සිදුවෙමින් තිබේ.
මේ ලිපිය ලියන මොහොත වනවිටත් මළ සිරුරු තුන ලැබී නැත. ඉන්දික ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඉපදුණත් ඔස්ට්‍රේලියානුවෙක් ලෙස ජීවත් වෙමින් සිටි වෘත්තිකයෙකි. දශක දෙකක් තිස්සේ ඔහුගේ දැනුම පරිචය වැය කළේ ඒ සමාජයේ සුබසිද්ධිය වෙනුවෙනි. දැන් ඒ ශ්‍රී ලාංකේය - ඔස්ට්‍රේලියානු පුරවැසියා බිහිසුණු අපරාධයක් සිදුකර ඇතැයි එරට පොලිසිය සහ මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. ඒ අපරාධය හුදෙකලා සිදුවීමක් ද? සමාජ පද්ධතියක ගැටලුවක් ද? ඔවුන් සිද්ධිය හුදෙකලා කර මතු කරමින් සිටිති.
මිය යන විට ඉන්දිකට අවුරුදු හතළිහකි. ඔහු ලංකාවෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නේ දශක දෙකකට පෙරය. ලංකාවේ ඉපදුණු නමුත් ලංකාවේ ගත කළ ජීවිතයටත් වඩා වැඩි කාලයක් ඔහු ඔස්ට්‍රේලියානුවෙක් ලෙස ගත කර තිබිණි.
ඉන්දික ඉපදුණු ගම කැලණිය මාකොළය. ඔහුගේ පියා ලාල් ගුණතිලකය. පියා ද නගර සැලසුම් නිර්මාණ ශිල්පියෙකි. මව කරුණා ගුණතිලකය. ඉන්දික ඒ පවුලේ එකම දරුවාය. අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඔහු ප්‍රභාවත් දරුවෙක්ව සිටි මතක තවමත් ඔහුගේ ගුරුවරු තුළ ඇත්තේය. පාසල් වියේ හෙතෙම දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙකි. අධ්‍යාපන හා කලා හැකියා සහිත දීප්තිමත් සිසුවෙකි.
උසස්පෙළ හදාරා ස්වකීය උසස් අධ්‍යාපනය ඉලක්ක කරගෙන සිය පවුලත් සමඟ ඉන්දික ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේය. Curtin විශ්වවිද්‍යාලයට එක්ව උසස් අධ්‍යාපනය හදාරන්නේය. උසස් අධ්‍යාපනයෙන් පසු නගර රජයේ සැලසුම් ශිල්පියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ කරන ඉන්දික වෘත්තිය තුළ ස්ථාවර වන්නේ IMG නමින් නගර සැලසුම්, විසඳුම් සහ සංවර්ධන විෂයයන් ආවරණය කරන තමන්ගේම ආයතනයක් වර්ෂ 2014 දී ආරම්භ කරමිනි.
“ඔහු පුංචි කාලෙ ඉඳන්ම හරිම ප්‍රියමනාප කෙනෙක්. අනුන් ගැන අසීමිතව කල්පනා කළ කෙනෙක්. ඉහළ අරමුණු සහ ප්‍රාර්ථනා සහිතව වැඩ කළ කෙනෙක්. පැතිරුණු මනසක් ඇතිව සිටි ඔහුට මේ සිදුවුණු දේ ගැන හිතා ගන්න බෑ.“ ඉන්දිකගේ ඥාති සොයුරිය දීපානි පෙරේරා අතීතය ආවර්ජනය කරමින් අපට කීවාය.
“ඉන්දිකගෙ තාත්තා වගේම ඔහුගෙ බාප්පත් ගෘහ නිර්මාණ ශිල්පියො. ඔහුගෙ බාප්පා ඔස්ට්‍රේලියාවෙ පර්ත්වලම ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඉන්දික තරුණ වයසෙමයි අම්මයි තාත්තයි එක්ක ඔස්ට්‍රේලියාවට යන්නේ. ඔහුගෙ ඥාතීන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබපු අය. ඉන්දිකගෙ අම්මා තාත්තා හරිම හොඳ මිනිස්සු. අම්මයි තාත්තයි පදිංචි වෙලා හිටියෙත් ඉන්දිකගෙ නිවෙසට නුදුරින්ම තමයි.“
දීපානි මේ සිදුවීම සම්බන්ධව වෙනස් මානයක් හෙළි කරන්නීය. “සිදු වුණේ ඉතාම බිහිසුණු අපරාධයක්... හැබැයි කවුරුත් මතු නොකරන ඇත්තක් තිබෙනවා. ඉන්දික විශාදයට බෙහෙත් ගනිමින් සිටියා නම් ඔහු ඔස්ට්‍රේලියාවේ මහා ඉහළින් අගය කරන මානවීය ගුණයෙන් යුතු වෛද්‍ය ප්‍රතිකාර පද්ධතිය තුළ ආරක්ෂාව ලබන කෙනෙක්.
සිස්ටම් එක ෆේල් ද?
ඔහු විසින් පසුගිය 16 වැනිදා සමාජ මාධ්‍යය වෙත නිකුත් කළ වීඩියෝවේ 12 වැනි මිනිත්තුවේ ඉඳලා 14 වැනි මිනිත්තුව තෙක් ඇහුවා නම් ඔහු නිසැකවම සිය දිවි හානිකරගන්න බව මානසික සංකූලතා ගැන අවබෝධයක් තිබෙන ඕනෑ කෙනකුට තේරෙනවා. මානසික රෝග සම්බන්ධව දැඩි අවධානයක් සහිත උපරිම රක්ෂාවරණයක් තිබෙනවා කියන සිස්ටම් එකකින් ඔහුව ගිලිහිලා ගියෙ කොහොම ද?. “ඇය විමසා සිටින්නීය.
“ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාව ප්‍රශ්න කළ යුතුයි. සිදුවීම කම්පනයෙන් වහලා දාලා නිසා ඒ එකක්වත් මේ අවස්ථාවෙ එළියට එන්නෙ නෑ. වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කළා නම් ඔහුගෙ තත්ත්වය දන්නවා නම් දරුවෝ දෙන්නා ඔහු ළඟ තාවකාලිකව හරි තියාගන්න බෑ. ඒ කියන්නෙම ඔවුන් සියල්ලම බාර කරලා තිබෙන සිස්ටම් එක ක්‍රියාත්මක වෙලා නෑ.“ ඇය කියන්නී එසේය.
ඉන්දික ගුණතිලකගෙ සමීපම ලාංකේය මිතුරා ජීවන් ප්‍රසාද් ලියනගේය. මේ ඛේදවාචකයේදී ඉන්දික ගැන ලෝකය නොදත් කතාව ලෝකයට කීවේ ඔහුය.
“එදා මේ බිහිසුණු සිද්ධිය වෙච්චි දවසේ පාන්දර මට මිස් කෝල් එකක් තිබුණා. පාන්දර දෙකට. අනේ මට ඒක මඟහැරුණා. ඒ කෝල් එක මම ආන්සර් කළා නම් මේ සිද්ධිය වෙන්නෙ නෑ කියලා මම දන්නවා.“ ඔහු එසේ කියන්නේ හඬා වැටෙමිනි.
“මම ඉන්නෙ ලංකාවේ. මට කරන්න පුළුවන් දේවල් ඉතාම සීමිතයි. ඉන්දික මීට කලිනුත් ඔහුට අනතුරක් කරගන්න ගිය අවස්ථා දෙකකදීම මම කතා කරලා ඔහුගෙ අදහස වෙනස් කරගත්තා. මා දන්නා තරමින් ඔහුට ලොකුම පීඩනය ආවේ ඔහුගෙ බිරියගෙන් සහ බිරියගෙ අම්මගෙන්“
“ඔවුන් ඉතාම සතුටින් ජීවත් වුණු පවුලක්. ඉන්දික දරුවො දෙන්නට වගේම බිරියටත් අසීමිතව ආදරය කළා. දරුවො දෙන්නව සහ බිරියව තමන් වෙත තබා ගන්න අධික උත්සාහයක් දැරුවා. මේ ප්‍රශ්නය ඇවිත් උපරිම අවුරුද්දක් ඇති. වයිෆ්ගෙ අම්මගෙන් සහ වයිෆ්ගෙ සහෝදරයකුගෙන් පවුලට ඉතා ම දැඩි බලපෑම් සිද්ධ වුණා.''
මේ අතරෙ වයිෆ් පොලිසියෙ පැමිණිල්ලක් දාලා තිබුණා ඉන්දික මානසික රෝගී තත්ත්වයක ඉන්නවා; ඔහු එක්ක ජීවත් වෙන්න බෑ; දරුවො දෙන්න අවශ්‍යයයි කියලා. ඒ වගේම දික්කසාදයත් ඉල්ලා තිබුණා. දරුවන්ට නඩත්තු වගේම වයිෆ් ලොකු වන්දියක් ඔහුගෙන් ඉල්ලුවා.
“ඔහු ප්‍රතිකාර ලැබූ මානසික ආතතියක් තිබූ කෙනෙක් නම් පවුලෙන් සිද්ධ වෙන්න තිබුණෙ ඔහුට රැකවරණය ලබා දීම. ඒත් සිද්ධ වුණේ ඒක නොවෙයි. ඔහුට ඒ රට ඇතුළෙ පුරවැසියෙක් ලෙස අවශ්‍ය රැකවරණය ලැබුණ ද කියලා අද මම ප්‍රශ්න කරනවා.“
“නෝනා ඔහුට හැරෙන්නවත් දුන්නෙ නෑ. විශාදයට ප්‍රතිකාර ගැනීම කියන කාරණාවම සාධකයක් කරගෙන නීතියෙන් තද කළා. කිසිම අවස්ථාවක් දුන්නෙ නෑ නැවත ගොඩනැගෙන්න. මේ සියල්ලම අතරෙ ඉන්දිකට ඕනෑ වුණේ පවුලයි දරුවොයි ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න. ඔහුගේ දරුවන් සහ පවුල වෙනුවෙන් තිබුණු බැඳීම ගැන මම හොඳටම තේරුම් ගත්තේ බිරිය පවුලෙන් වෙන් වෙලා යන්න තීරණය කළාට පස්සෙ.ඉන්දික මට කතා කරලා කිව්වා “ජීවන්... මට මගෙ පවුල එකතු කරගන්න ඕන. විද්‍යාත්මකව ඒ දේ බැරිවෙන විදිහක් තියෙන්නෙ. අධ්‍යාත්මිකව කරන මොනවා හරි දෙයක ශක්තියකින් එකතු වෙන්න මට උදව් කරන්න කියලා.“
“එදා ඉඳන් ඔහු විශ්වාස කළ පූජනීය ස්ථානවලට, දේවාලවලට, කෝවිල්වලට දිවා රෑ නොබලා ගියා. ඒ ඉන්දිකගෙ විශ්වාසය නැති කරන්න මම උත්සාහ කළේ නෑ. ඔහු හිටියෙ ලොකු කම්පනයක. මේ ප්‍රශ්නයට කිසිම කෙනෙක් තීරණාත්මකව මැදිහත් වුණේ නෑ“
“මම දන්නෙ මෙච්චරයි... දරුවො දෙන්නගෙ හැමදේම කළේ ඉන්දික; බිරිය නොවෙයි. ඔහුගේ ජීවිතේ ගැන කියන්න සමහර දිනවල දවසට මට පැය දෙක තුනක් කතා කළ නිසා මම දන්නවා. “ ජීවන් ආයාසයෙන් කියන්නේ ඒ වේදනාවේ කතාවය.
ඉන්දිකගේ බිරිය ක්‍රිස්ටි ය. ඇගේ මව කැරලින් වයිට් එරට අධිකරණ අංශයේ සේවය කරන්නීය. ඉන්දික ගේ බිරිය ද මෑතක සිට ඇගේ මව හා එහි සේවය කරන බව පැවසේ. දික්කසාදයේ නෛතික තත්ත්ව සම්බන්ධයෙන් ඇගේ මවගේ බලපෑම සම්බන්ධව කතා පර්ත්වලින් ඇසෙන්නේය.
දරුවන් පූර්ණ නීත්‍යානුකූල පදනමින් ඉන්දිකගෙන් වෙන් කිරීමට පෙර මා පිය දෙදෙනාගේම රැකවරණය දරුවන්ට ලැබිය හැකිව තිබූ වකවානුවක දරුවන් ක්‍රිස්ටි ළඟ සිටින අවස්ථාවේ ඔවුන් රැකවරණ මධ්‍යස්ථානවල රඳවන බවත්; මවුපියන් සොයමින් දරුවන් විටෙක පාරේ ඇවිද ගිය බවත් ඉන්දිකගේ ඥාතීන් අපට කියන්නේය. ඒ තොරතුරු අනුව ඉන්දික ළඟ සිටින වකවානුව තුළ දරුවන්ගේ සියලු දේ සම්පූර්ණ වී තිබුණේ ඉන්දික අතිනි.
ජනවාරි 29 දා දරුවන් ඉන්දිකගෙන් වෙන් කරගෙන නීත්‍යානුකූල පූර්ණ අයිතිය බිරිය ක්‍රිස්ටිට පැවරෙන දවස බව කියැවෙන්නේය. ඊට දෙදිනකට පෙර ඇය වෙත දරුවන් දෙනවාට වඩා ඔවුන් තිදෙනාටම එකට සිටිය හැකි තැනක් ගැන ඉන්දික දින පොතේ තැබූ අවසන් සටහනක් ගැන සමාජ මාධ්‍යවල කියැවෙන්නේය.
අප දකිමින් සිටින්නේ වළක්වා ගත හැකිව තිබූ ඛේදවාචකයක ස්වරූපය සහ ඒ සඳහා අසමත්වීමේ පරාජිත බව ගැන සාධාරණ සංවාදයක් ඇති නොවන අයුරුය.
ශ්‍රී ලාංකේය තරුණියක් හා බැඳුණු ඉන්දිකගේ මුල් විවාහය සිදුවන්නේ වර්ෂ 2013 දීය. වසරක වැනි කෙටි කාලයකින් ඔවුන් වෙන් වන්නේය. ක්‍රිස්ටි ද පෙර දික්කසාද වී සිටියාය. ඉන්දික ඇයගේත් දෙවැනි විවාහය ය. ඉන්දිකට ක්‍රිස්ටි හමුවන්නේ ඔහුගේ දික්කසාදයෙන් තුන් වසරකට පසුය. ඉන්දික - ක්‍රිස්ටි විවාහය සිදු වන්නේ 2016 දීය. ඔවුන්ගේ විවාහයට මුල සිටම ක්‍රිස්ටි ගේ මව විරුද්ධ වූ බව පැවසේ. තම දියණිය කළු මිනිසකු හා විවාහ වීම පිළිබඳ ඇය උරණව සිටියාය.
ඉන්දිකගේ සමීප මිතුරන් අපට කිසිවෙක් මෙතෙක් නොකී කතාවක් ද අනාවරණය කරන්නේය. ඒ ක්‍රිස්ටි ද විශාදයෙන් පෙළෙමින් සිටි බවය. ඉන්දික ඇයව ඒ තත්ත්වයෙන් ගලවා ගැනීමට නොසෑහෙන වෙහෙසක් දැරූ බව ඔවුහු පවසති.
අශාන් ඩයස් අපේ සමාජය තුළ බෙහෙවින්ම කතාබහට ලක්වන යොවුන් කලාකරුවෙකි. තම මිතුරා ඉන්දික පිළිබඳ වූ සහෝදරත්වයේ මතකය සහ ඔහු අත්හැරුණු ආකාරය සම්බන්ධව අශාන් කතා කරන්නේ කම්පිත වරදකාරී හැඟීමකිනි.
අදහාගත නොහැකි සිදුවීමක කෙළවර ඔහු අපට කියන්නේ තියුණු මානසික ප්‍රකම්පන විසින් රෝගී කළ මිනිසකුට අත්විය හැකි ඛේදවාචකයේ ගැඹුරය.
“ඔහු මනුෂ්‍යත්වය, ආදරය සහ අනෙකා වෙනුවෙන් කැපවීමට හැකි විශාල හදවතක් සහිත මිනිසෙක්. මට ජීවිතේ විවිධ ප්‍රශ්න තිබුණා. මට ගැටලුවක් කියලා දැනුණු පළවෙනි වතාවෙම මට කතා කරලා හිත හැදුවේ ඉන්දික. මේ රටට, මිනිස්සුන්ට අසීමිතව උදව් කළ මිනිසෙක්. තමන්ගෙ පෞද්ගලික ධනයෙන් අසරණයන්ට නිවාස හදලා දුන්න, එක්තැන් වෙච්චි මිනිස්සුන්ට රෝද පුටු ලබා දීලා ජීවිත බලාපොරොත්තු දුන්නා. යාළුවන් අසරණ වුණු වෙලාවකට කොන්දේසි නැතිව ඔවුන් වෙනුවෙන් කැපවුණු කෙනෙක්. අන්තිම මාස හයේ දී ඉන්දිකට විඳින්න වෙලා තිබෙන හිත් රිදීම් වේදනා මට හිතා ගන්න බෑ.“
“ඔහුගෙ කතාව අඩු වුණා...ගිය අවුරුද්දෙ මැයි මාසෙන් පස්සෙ ඔහු එකපාරටම නැති වුණා. අගෝස්තු වෙනකොට ඔහුගෙ වයිෆ් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඉන්දික සහ දරුවො දෙන්න නැති ෆොටෝ පළ කරන්න ගත්තා.“
“ඇය දාන්න ගත්තා මම මගෙ ජීවිතේ ආයෙ පටන් ගත්තා වගේ දැනෙන විදිහෙ පෝස්ට්. “ මම නොවැම්බර් මාසෙ මැසේජ් එකක් දැම්මා. ගොඩ කාලෙකින් උඹ මුකුත් කිව්වෙ නෑ. මචං මොකක් ද අවුල කියලා.“
“ඉන්දික රිප්ලයි කළා. “පහුගිය මාස හය මම ලොකු ප්‍රශ්නයකින් වැටිලා හිටියෙ. පොඩ්ඩ පොඩ්ඩ ඒකෙන් ගොඩට එන්න උත්සාහ කරනවා“ කියලා. කතා කරන්න හදපු අවස්ථාවෙදී අපිට අපි අත්හැරුණා. මට කතා කරන්න බැරි වුණා.“
“මම දැන් හැමෝගෙන්ම ඉල්ලා සිටින්නෙ එකම දෙයයි. කවදාවත් සමීපතමෙයක් ඒ විදිහට අත්හරින්න එපා. ඒවයෙ ප්‍රතිඵල එනකොට දරාගන්න අමාරුයි...“
අවසානයේ දී ඒ ඛේදවාචකය සිදු වී තිබේ. අන්ත අසරණවූ මානසික පරිසරයක් තුළ තමන් ව්‍යසනකාරී කළු කුහරයක් තුළට ඇදවැටෙමින් ඇති බවට විලාප දුන් මිනිසකුගේ හඬ නෑසුණු සමාජයක් දැන් සිදුවී ඇති බිඳවැටීම වැසෙන ආකාරයේ සිද්ධි විග්‍රහයක් සඳහා උණ පූර්ණ සොයමින් සිටිති.
උපුටා ගැනීම - ඉරිදා සිළුමිණ