ගී අඹර පමණක්ද... නැත සිනමා අඹරද කලූම කලූ වලාවකින් වැසී ඇති මේ අහසට දීප්තිය දුන් රන් තාරකාව නිවී ගිහින් සඳ විතරක් නොවේ... දැන් හිරුද තනිවී ඇත. උතුරා ගැලූ ගීත ගඟුල වියළී ගිහින්. අනේ... මේ තාරකාව ආයේ කවදා පායයිද... නැත යළි පායන්නේ නැති එවැනි බලාපොරොත්තුවක් මිරිඟුවක්ම පමණි. හෙළ සිනමාවට, චිත්‍රපට ගීයට මෙන්ම සරල ගීයටද පෙම් බැන්දෝ අද දැඩි කම්පනයකට පත්ව සිටිති.
මෙලොවට එන අප ආපසු යායුතුය. මේ ගමනේදී සිනහවට වඩා උරුම වන්නේ කඳුළ පමණි. ජීවිත ගමනේ සනාතන දහම අප කාටත් පොදුය. කවදා හෝ මේ ලෝ අම්බලම හැරදා අප යායුතුයි.
එවැනිම ගමනක හෙළ ගායන ක්‍ෂේත්‍රයේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක අද අප හැර යන්නීය. අපේ සිනමාවට, අපේ ගීයට ස්වර්ණමය යුගයක් ගෙන දුන් පුරුක් එකින් එක අපට අහිමිවී යන කාලයක ඇගේ නික්මයෑම හදවත් වඩාත් කම්පාවට පත් කරන්නකි. අනෙක් අතට තම විවාහ දිවියේ 53 වැනි සංවත්සරයදාම ජීවිතයෙන් සමුගන්නට සිදුවේ යැයි ඇන්ජලින් කිසි දිනෙක සිහිනෙන්වත් පතන්නට නැතිව ඇති. ඇන්ජලින්ගේ සෙවණැල්ල සේ ඈ පසුපසින් සිටි ආදරණීය සැමියා ලෙස්ලි ගුණතිලක කෙසේනම් මේ දුක ඉවසා දරා ගන්නද. එහෙත් සෑම දෙයක්ම සිදු වන්නේ අප සිතන පතන ආකාරයට නොවේ. ලෙස්ලි ගුණතිලක සමග විවාහ වූ 1966 මාර්තු 29 වැනිදා වන තුරු ඇය ඇන්ජලින් ද ලැනරෝල්ය. ඈ උපන්නේ 1939 දෙසැම්බර් 23 වැනිදා මාතරදීය. උපතින්ම කතෝලික බැතිමතියක් වූ ඇන්ජලින් නත්තල සැමරීමට දින දෙකකට පෙර උපත ලැබීම ගැන නිතර සතුටින් කතා කළාය.
ළමුන් දහ දෙනකුගෙන් යුත් පවුලක හත්වැනියා ඇන්ජලින්ය. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ මූලික අධ්‍යාපනය ලබමින් සිටිද්දී කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ පියාට ලද ස්ථාන මාරුවක් නිසා වයස අවුරුදු අටේදී කොළඹ පැමිණියාය. ඉන්පසු ඉගෙනුම ලැබුවේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේය.
කුඩා කල සිට ඇන්ජලින් ගී ගයන්න දක්‍ෂ නිසා සොයුරිය අයිරින් ගුවන් විදුලියේ ගායනා තරගයකට නැගණිය වෙනුවෙන් අයැදුම්පතක් යොමු කළාය. ඒ තරගයෙන් ඇය දෙවැනියා වූවාය. පළමුවැනියා වූයේ චන්ද්‍රාණි ගුණවර්ධනය. (එකල චන්ද්‍රාණි කබ්රාල්)
ඉන්පසු ඇන්ජලින් ගුවන්විදුලියේ කරු අයියාගේ ළමා පිටියට ආවාය. මුලින්ම ගැයුවේ ජමුනා රාණිගේ ගීයකි. ගායිකාවක වන්නට පළමුව අතදුන් කරුණාරත්න අබේසේකරයන්ගේ සොහොයුරා වූ ගුවන් විදුලි ශිල්පී දයා අබේසේකරය. ඇන්ජලින් ජීවිතයට සමුදුන් දවසේම දයාද ජීවිතයට සමුදීම කලා ක්‍ෂේත්‍රයට වූ පිරිමැසිය නොහැකි පාඩුවකි.
ළමා පිටියේ ගී ගයන කාලයේදීම ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රපට සමාගම ‘තරු තැනුම‘ නමින් ගායන තරගයක් පැවැත්වීය. ගුවන් විදුලියේ ජනප්‍රිය අය ඊට සහභාගි විණි. නායගම් සහ මුත්තුස්වාමි එය විනිශ්චය කළහ. තරගයෙන් ජය ලැබූ ඇන්ජලින් ලැනරෝල් ට එම සමාගම තැනු ‘සොහොයුරෝ‘ චිත්‍රපටයේ ගීයක් ගැයීමට අවස්ථාව ලැබිණි.
ආදර අඹරේ ආලෝකය වීලා
පායන චන්ද්‍රා හද කවි මල පිපුණා
ඒ 1958 වසරේදීය. ඇය පළමු යුග ගීය ගැයුවේද එම චිත්‍රපටයටය. ඒ සිඞ්නි ආටිගල සමගිනි. දර්ශනයට පෙනී සිටියේ ලීනාද සිල්වා සහ අරුණ ශාන්තිය. ඉන්පසු ඈ මොරිස් දහනායක, ආර්. සිවානන්ද සහ වී. වර්ධරාජා යන ගායකයන් සමඟ යුග ගී ගැයුවාය.
ඇන්ජලින් එකල සුනිල් ශාන්තයන්ගෙන්ද ගායනය පිළිබඳ ගුරුහරුකම් ලබා ගත්තාය. ඈ හේවුඞ්හි නැටුම්ද ඉගෙන ගත්තාය. ඒ පණීභාරතයන් යටතේය. ඈ පියානෝ වාදනය ඉගෙන ගත්තාය. ඒ සියල්ල කළේ කෙටි කලකි.
ඇන්ජලින්ද ලැනරෝල් ජනප්‍රිය වන්නට පටන් ගත්තාය. පී. එල්. ඒ. සෝමපාලයන් ඇයට එච්.එම්.වී. තැටියකට ගී ගයන්න අවස්ථාව දුන්නාය. ඒ 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙනි. චිත්‍රා සෝමපාල, මොහිදින් බෙග් සමඟ ඒ ගී ගැයුවාය.
‘ශාන්ත මේ රාත්‍රියේ’ ‘? තරු බබලනවා’, ‘පුළුන් වගේ සුදු රැවුල දිගයි’ වැනි නත්තල් ගී සී. ටී. ප්‍රනාන්දු සමග ගැයුවාය. මේ ගී ගැයුවේ මර්සලිනු ජයකොඩි පියතුමාගේ ඉල්ලීම මතය. ඉන්පසු වොලී බැස්ටියන් සමඟ බයිලා
ගැයුවාය. ‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටයට ඇන්ජලින් විරිඳු ද ගැයුවාය.
ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ සරල ගී ගායිකාවක වීමේ පරීක්ෂණයට සහභාගි වූවාය. ඇන්ජලින් ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත්වූවාය.
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ...
ඇය සිනමාවට අත්‍යවශ්‍ය ගායිකාවක් වන්නේ කුසලතාව නිසාමය. ගායනයේදී සංගීත පරාසයන් පිළිබඳ කිසිදු
ගැටලූවක් පැන නොනැගිණි. තමන්ට ලැබෙන ගී පද මාලාව ගායනයේ දී රස උද්දීපනය කළ හැකි ඇතැම් සැඟවුණු තැන් හඳුනා ගන්නා ඇය අලංකාරයෙන් යුක්තව ඒවා ගයන්නීය. එමෙන්ම කෙතරම් වයසට ගියද ඇගේ හඬෙහි වෙනසක්ද නොවුණි.
1958 සිට 1996 දක්වා ෆ්ලොරිඩා ජයලත්, විජිත මල්ලිකා, ලීනා ද සිල්වා, සන්ධ්‍යා කුමාරි, ස්වර්ණා කහවිට, අනෝජා වීරසිංහ, මාලිනී ෆොන්සේකා, සුමනා අමරසිංහ, සෝනියා දිසා, කාන්ති ලංකා, අනෝජා වීරසිංහ, මානෙල් වානගුරු, සබීතා පෙරේරා, සංගීතා වීරරත්න, දිල්හානි අශෝකමාලා ඇතු`ළු නිළියන් රැසකට සිනමාවේ පසුබිම් ගී ගැයුවාය. මෙරට වැඩිම චිත්‍රපට ගීත සංඛ්‍යාවක් ගැයූ ගායිකාව ලෙස ඇය වාර්තාවක්ද තබා ඇත.
ජනප්‍රිය ගීතය විෂයෙහි මතු නොව කේමදාසයන්ගේ ‘කැලෑමල්’ වැනි ඉඟි නළුවටද ඇන්ජලින් දායක වූවාය. ඇගේ ගායන ශෛලිය ඇයටම ආවේණිකය. එය කිසිවෙකුට අනුකරණය කළ නොහැක.
ඇන්ජලින්ගේ හඬට වඩාත් ගැළපෙන හඬක් තිබුණා නම් ඒ එච්. ආර්. ජෝතිපාලගේ හඬය. ඇන්ජලින් සහ ජෝති එක්ව ගැයූ පළමු යුග ගීය වන්නේ ‘දස්කම‘ චිත්‍රපටය වෙනුවෙන් ගැයූ ‘වාසනාව පෑදී‘ ගීයයි. මේ චිත්‍රපටයටද ගී ගැයුවේ 1958 දීය. ඉන්පසු අපේ සිනමාවට ඇන්ජලින් සහ ජෝති නැතුවම බැරි ගායක ගායිිකා යුවළක් බවට පත්වූහ.
ඉරසඳ වැඳලා නෙත් දෙක ඇරලා
අත ඔබෙ නළලෙ තියා...
හදවත සපුරා පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා...
ඇන්ජලින් නිසා, ජෝති නිසා පික්චර් පිස්සන් වූ කී දෙනෙක් ඇත්ද? විධිමත් ලෙස සංගීතය හදාරා නැති වුවත් ඇන්ජලින් තම හඬ පාලනය කරමින් ලගන්නා ලෙස ගී ගයන ආකාරය කාටත් පුදුමය. ගී පදමාලාවේ වාච්‍යාර්ථය මතුවන අයුරින් ලාලිත්‍යයෙන් යුක්තවත් හැඟුම්බරවත් ඇය ගී ගයන්නේ වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම කන්කලූ ලෙසිනි. ඒ හැකියාව ඇති තවත් ගායිකාවක් ඇතැයි සිතන්නටවත් බැරිය. ඇය නිතර පවසන්නේ මේ හැකියාව දෙවියන් වහන්සේ විසින් තමන්ට දුන් තලෙන්තුවක් බවය.
අපේ සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන හැත්තෑව දශකයේ දී ගායිකාවක ලෙස ඇන්ජලින් ගුණතිලක දැක්වූ දායකත්වය මෙතෙක් කලක් නිසි ඇගයීමකට ලක්වූවාද යන්න සැක සහිතය.
නිළි රැජිණ මාලිනී ෆොන්සේකා වෙනුවෙන් පමණක් ඇන්ජලින් චිත්‍රපට තිස් හතකට පසුබිම් ගී ගයා ඇත. ගීතා කුමාරසිංහ වෙනුවෙන් චිත්‍රපට විසි හතරකට ඇය ගී ගයා තිබේ. සිනමාවේ සියලූම නිළියන්ට ඇගේ හඬ කදිමට ගැළපිණි. ඇය මේ වනවිට ගයා ඇති ගීත ප්‍රමාණය පන්දහසකට අධිකය.
හැමදාම එකවාගෙ නැති ජීවිතේ
මල්පාට මල් හීනයක් ජීවිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
ඇය නිතර සිනා සෙමින් ඉතා සැහැල්ලූවෙන් ජීවිතය ගත කළාය. අප දන්නා තරමින් ඇය කිසිවෙකුට වෛර කළේවත් ඊර්ෂ්‍යා කළේවත් නැත. එහෙත් ඇය අයුක්තිය අසාධාරණය හමුවේ සිය හඬ අවදිකළ ගායිකාවක වූවාය. ඇය නිතරම ගායකයාගේ හෝ ගායිකාවගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව කතා කළාය. ඒ වෙනුවෙන් නැගී සිටියාය. ගායකයාට හෝ ගායිකාවට හිමි නිසි තැන සහ වටිනාකම ලබා දෙන්නට හුදෙකලාව සටන් කළ ඇන්ජලින් තමන් මහත්සේ කැපවී ගැයූ ගීත වෙනත් අය ඉතා අඩු මුදලකට ගයමින් මුදල් උපයා ගැනීමට එරෙහිවද අභීතව පෙනී සිටියාය.
ඇන්ජලින් කිසිදා මුදලට විකිනුණු ගායිකාවක නොවේ. එහෙත් ඇය කිසිදාක ඇගේ කටහඬ අඩු මුදලට පාවා දී වෘත්තියේ ගරුත්වය කෙළෙසුවේද නැත. ගාමිණී ෆොන්සේකා නළු වෘත්තියට වටිනාකමක් එක් කළේ යම් සේද ඒ ආකාරයටම ඇන්ජලින්ද ගායන වෘත්තියට වටිනාකමක් ගෙන දෙන්නට උත්සාහ කළාය.
ඇන්ජලින් ගැන බොහෝ දෙනා නොදන්නා කරුණක් ඇත. එය ඇය ප්‍රසිද්ධ කළේද නැත. ප්‍රසංගයකට ගොස් ලැබෙන මුදල ඇය කොටස් හයකට වෙන් කළාය. ඒ කොටස් හය කුඩා මලූ හයකට දැමුවාය. පුවත්පත් ඔස්සේ ආධාර ඉල්ලා සිටින දරුවන් වෙනුවෙන් එක මල්ලකි. දුප්පත් දරුවන් වෙනුවෙන් තවත් මල්ලකි. මුණුපුරු මිණිපිරියන් වෙනුවෙන්ද මල්ලකි. දේවස්ථානය වෙනුවෙන් මල්ලකි. එදිනෙදා නිවසට ආධාර ඉල්ලා එන මිනිසුන්ටද එක් මල්ලකි. අවසානයේ ඉතිරිවන මුදල තමන් වෙනුවෙන් ඇති මල්ලට දමයි. මියෙන තුරා මේ ආකාරයට ඇය ගී ගයා ඉපැයූ සෑම මුදලක්ම අන් අය උදෙසා වෙන් කළාය. එසේ ආධාර උපකාර කළ අවස්ථා ඇතුළත් ඡායාරූප ඇල්බමයක් ඇගේ අවසන් ඉල්ලීම පරිදි දේහය අසල තබා ඇත.
ඇන්ජලින් කිසිදාක දේශපාලකයන්ට කඬේ ගියේ නැත. ඇය ප්‍රතිපත්තිගරුක ශිල්පිණියකි. ඇන්ජලින්ගේ අදීන බව නිසාම කිසිම දේශපාලකයෙකු ඇයගෙන් අයුතු දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කළේද නැත.
කවදා හෝ සසර කතර අතර මගකදී
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී
රසික ඇගයීම් මිස මියෙන තුරා ඇයට රාජ්‍ය මට්ටමෙන් කිසිදු ඇගයීමක් නොලැබුණු බවද සඳහන් කළ යුතුය. ඕ රජයෙන් එවැන්නක් බලාපොරොත්තු වූයේද නැත.
හැමදාම නොඅඩුව ලද රසික ආදරයට පෙරළා ඇයද ආදරය කළාය. ඇන්ජලින්ට ඉතිරි වූයේද රසික ආදරය පමණි.
‘‘මා මළ දවසක ජනතාව කැරකොප්පුවේදී මගේ හොඳ කියයි. මම මැරෙන්න බය නෑ. මම මගේ හොඳ නම ගෞරවය ඉතිරි කරලා යනවා’’ ඇය ජීවත්ව සිටියදී එසේ කීවාය. එපමණකුදු නොවේ... මියගිය පසු දේහය කලාභවනට ගෙනයෑම කෙරෙහි ඇය තුළ කැමැත්තක් නොවිණි. රාජ්‍ය ගෞරවයද ඇය ප්‍රතික්‍ෂේප කළාය. ඇගේ ඒ කැමැත්ත අද එලෙසම ක්‍රියාත්මක කරන්නට ආදරණිය සැමියා තීරණය කළේය.
මේ අදීන ගායිකාව අද අප හැර ගියද ඈ ගැයූ මියුරු ගීත තවත් කාලාන්තරයක් පුරා අප සවන්පත් අතර රැඳෙනු ඇත. ඒ ගී කිසිදා රසයෙන් අඩු නොවනු ඇත. ජෝතිගේ ගීතවල වටිනාකම වඩාත් වැඩි වන්නට පටන් ගත්තේ ඔහුගේ වියෝවෙන් පසුවය. ඒ ආකාරයටම ඇන්ජලින්ගේ ගීතවල වටිනාකමද හෙට දිනයේදී වඩාත් වැඩියෙන් දැනෙනු ඇත.
උයනක් පිරී පිපි මල්
අද පර වෙලා
විහඟුන් ගැයූ ගී වැල් අද ගොලූ වෙලා
ආදරණීය සැමියා, දියණියන් දෙදෙනා, මුණුපුරු මිණිපිරියන් හැරදමා අද සවස් යාමයේදී ඇන්ජලින් අවසන් ගමන් යන්නීය. ඒ යන්නේ ඇගේ රිදී සීනු හඬ අප අතර තබාය. වසර පනහකට අධික කාලයක් සිය කට හඬින් මිහිරි රසයක් ලබාදුන් ඇන්ජලින් ගුණතිලක ගායනවේදිනියට මොක්සුව පතමු.