ඒ ඇසෙන කතාවෙන් නම් සියල්ලන්ම සංවේගයට පත්වෙලා.
මේ කියන්න යන්නේ ඒ සංවේගයට පත් සිදුවීම ගැන ඇසෙන ආරංචියයි.
ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලගාර්ඩියා (LaGuardia) ගුවන්තොටුපළේදී ගොඩබෑමට උත්සාහ කළ කැනේඩියානු ගුවන් යානයක් ධාවන පථයේ තිබූ ගිනි නිවන රථයක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනාම මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
මොන්ට්‍රියල් සිට පැමිණි මෙම ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 72ක් සහ කාර්ය මණ්ඩලය සිව්දෙනෙකු සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
ගුවන්තොටුපළ බලධාරීන් පවසන පරිදි, අදාළ ගිනි නිවන රථය එම අවස්ථාවේ ධාවන පථයට පැමිණ ඇත්තේ වෙනත් යානයක ඇති වූ හදිසි තත්ත්වයකට ප්‍රතිචාර දැක්වීම සඳහායි. එහෙත් එම අවස්ථාවේදීම කැනේඩියානු ගුවන් යානයද ධාවන පථයට ගොඩබස්වා ඇති අතර, එහිදී මෙම මාරක ගැටීම සිදුව තිබෙනවා.
අනතුරින් 41 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, ප්‍රතිකාර ලැබූ පුද්ගලයින්ගෙන් 32 දෙනෙකු මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවත්, යානයේ සිටි ගුවන් සේවිකාවක් යානයෙන් පිටතට විසි වී තිබුණද, ඇය වාසනාවන්ත ලෙස දිවි බේරාගෙන ඇති බව සඳහන් වෙනවා.
මෙම අනතුරින් පසු ලගාර්ඩියා ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර, ඒ හේතුවෙන් පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 18ක් පමණ වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යවා තිබුණා. මේ වන විට ඇමරිකානු සහ කැනේඩියානු පරීක්ෂණ කණ්ඩායම් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.