අභ්‍යවකාශ ගවේෂණයේදී දැනට පවතින ලොකුම අභියෝගය වන්නේ යානා මෙහෙයවීම සඳහා අවශ්‍ය වන අධික ඉන්ධන ප්‍රමාණයයි. මෙම අභියෝගයට විසඳුමක් ලෙස තරුණ ඊජිප්තු නව නිපැයුම්කාරියක වන අයිෂා මුස්තාෆා (Aisha Mustafa) ඉදිරිපත් කළ සංකල්පය විද්‍යා ලෝකයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.
සාම්ප්‍රදායික රොකට් එන්ජින් ක්‍රියා කරන්නේ ඉන්ධන දහනය කර පිටුපසට වායූන් විදීමෙන් ලැබෙන තෙරපුම මගිනි. නමුත් මුස්තාෆාගේ අදහස මීට හාත්පසින්ම වෙනස්ය. ඇය යෝජනා කරන්නේ ක්වොන්ටම් රික්ත උච්චාවචනයන් (Quantum Vacuum Fluctuations) භාවිතා කරමින් තෙරපුම නිපදවිය හැකි පද්ධතියක්.
මෙම ක්‍රමයේදී, විද්‍යුත් චුම්භක අන්තර්ක්‍රියා භාවිතා කරමින් අභ්‍යවකාශයේ පවතින ශක්තිය ප්‍රයෝජනයට ගන්නා අතර, සාම්ප්‍රදායික ඉන්ධන ටැංකි අවශ්‍ය නොවන බැවින් යානාවේ බර විශාල ලෙස අඩු වෙනවා.
මෙය චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ පරීක්ෂණ යානා නඩත්තු කිරීමේ පිරිවැය අවම කිරීමට සමත් වෙනවා.
අයිෂා මුස්තාෆාගේ මෙම සොයාගැනීම අතිශය නිර්මාණශීලී වුවත්, එය තවමත් පවතින්නේ න්‍යායාත්මක මට්ටමකයි. මෙතෙක් මෙම ඉන්ධන රහිත එන්ජිම සැබෑ අභ්‍යවකාශ තත්ත්වයන් යටතේ ක්‍රියා කරන බවට පර්යේෂණාත්මක සාක්ෂි හෝ විද්‍යාත්මක ප්‍රකාශන (Peer-reviewed studies) ඉදිරිපත් වී නොමැති අතර, මේ හේතුව නිසා NASA සහ ESA වැනි ලොව ප්‍රමුඛ පෙළේ අභ්‍යවකාශ ආයතන තවමත් විශ්වාසය තබන්නේ රසායනික රොකට්, අයන එන්ජින් (Ion engines) සහ විද්‍යුත් තෙරපුම් පද්ධති (Electric thrusters) වැනි ප්‍රායෝගිකව ඔප්පු කරන ලද තාක්ෂණයන් මතයි.
පර්යේෂණාත්මක මට්ටමින් තවමත් ස්ථිර වී නොමැති වුවද, මුස්තාෆා වැනි තරුණ විද්‍යාඥයන්ගේ මෙවැනි අදහස් අනාගත පර්යේෂණ සඳහා විශාල උත්තේජනයක් සපයන බව නම් නොරහසක්. අභ්‍යවකාශ ගවේෂණය වඩාත් කාර්යක්ෂම සහ ලාභදායී කිරීමට නම්, සම්ප්‍රදායෙන් බැහැර වූ මෙවැනි නවෝත්පාදන අතිශයින්ම වැදගත් වෙනවා.