Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
04
වයඹ කැලඹූ කුලියාපිටියේ තරුණයා අතුරුදන් කළ සිද්ධියේ සුල මුල හෙළිවෙයි...වෙනස්ම විදියේ කතාවක් එළියට...

- වයඹ කැලඹූ කුලියාපිටියේ තරුණයා අතුරුදන් කළ සිද්ධියේ සුල මුල හෙළිවෙයි...වෙනස්ම විදියේ කතාවක් එළියට...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

138 Views
මේ දිනවල කුලියාපිටිය උණුසුම්ව ඇත්තේ සිය 17 හැවිරිදි පෙම්වතියගේ වස්සාවුල්ලේ පිහිටි නි‍ෙවසට ගිය ඇඹව පදිංචිව සිටි 31 හැවිරිදි විවාහක පෙම්වතෙක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙනි. 

 මෙම පෙම්වතා අතුරුදන්ව සති දෙකක පමණ කාලයක් ගතවී ඇතත් අඩුම තරමින් ඔහු ජීවතුන් අතර සිටීවිදැයි කියා නිෂ්චිත තොරතුරක්වත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. ඒ තරුණයාගේ අතුරුදන්වීමත් සමඟ පෙම්වතියගේ මවුපියන් ද ගේදොර අතහැර අතුරුදන්ව සිටින බැවිනි.

පෙම්වතියගේ නි‍ෙවසේදී තරුණයාට පහරදී ගැටගසා ඔහු මෝටර් රථයක දමාගෙන ඒ පැත්තේ සිටින හිටපු දේශපාලන බලවතෙකුගේ නි‍ෙවසකට රැගෙන ගිය බවට වූ තොරතුරක්ද තරුණයාගේ අතුරුදන්වීමත් සමඟ සැකකළ හැකි තොරතුරුද අනාවරණය වෙමිනි.

මෙම දේශපාලකයා වයඹ පාළාත් සභාවේද ඉහළ තනතුරක් දැරූ අයෙකි. තමා දන්නා කියන උදවියට නම් මෙම දේශපාලනඥයා පවසන්නේ මාධ්‍යවලින් ඒ ගැන කියන තුරු තමානම් කිසිවක් නොදන්නා බවය.

පොලිසිය නම් පවසන්නේ තරුණයා සොයා ගැනීමට නොහැකි වුවහොත් එකී දේශපාලනඥයාගෙන්ද ප්‍රශ්න කිරීමට සිදුවනු ඇති බවය. ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමට හැකි තරමේ තාක්ෂණික සාක්ෂි ඕනෑ තරම් මේ වන විටත් පොලිසිය සොයාගෙන හමාරය.

තවදුරටත් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම පස්සට දමා ඇත්තේ යම් සුවිශේෂී කරුණක් හේතුවෙනි. ඒ එකි දේශපාලනඥයා මඟින් මෙම තරුණයාගේ අතුරුදන්වීමට මුල්වී සිටින පෙම්වතියගේ මවුපියන් ඇතුළු පවුල මේ වන විට සැඟවී සිටින ස්ථානය හදුනා ගැනීමේ හැකියාවක් ඇතැයි දැඩිව විශ්වාස කරන බැවිනි.

පෙම්වතියගේ පියා සහ මෙකී දේශපාලනඥයා අතර ඇතැයි පැවසෙන්නේ ගහට පොත්ත මෙන් ඉතා සමීප සම්බන්ධයකි. පොලීසිය විශ්වාස කරන්නේ මෙකී දේශපාලනඥයා තරුණයා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පොඩි හෝ යමක් දැන සිටින බවය. ඒ තරුණයා අතුරුදන් කිරීමට පෙරත් අතුරුදන්වීමෙන් පසුත් මෙකී දේශපාලනඥයා සහ පෙම්වතියගේ පියා අතර දුරකතන සම්බන්ධකම් පැවති බවය.

මෙහි කතානායකයා සුසිත් ජයවංශය. 31 හැවිරිදි වියේ පසුවූ සුසිත්ට මිතුරන් සහ හිතවතුන් ඇමතුවේ සුසී යැයි කියාය. සුසී ජීවත්වූයේ කුලියාපිටිය ඇඹව දික්ඇල්ලේය. ස්ථිර රැකියාවක් කියා සුසීට නොවීය. කාලයක් ඔහු කසිප්පුද පෙරුවේය. ඒ මෙම කථාවේ දුෂ්ටයා ලෙස මේ වන විට හඳුනාගෙන සිටින 17 හැවිරිදි පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු සමගිනි.

සුජිත් ප්‍රනාන්දුව ගම්වැසියන් හදුන්වනු ලැබුවේ සිඟිති යැයි කියාය. සිඟිති මහා පරිමාණයෙන් කසිප්පු පෙරූවෙකි. ඔහුට පොලිසියේ මෙන්ම දේශපාලනයේද ලොකු සම්බන්ධකම් තිබුණේය. කුලියාපිටිය රෝහලේ සුළු සේවකයකු ලෙස නාමික රැකියාවක පවා ඔහු නිරතව සිටියේය. ඒ කසිප්පු පෙරන අතරතුරදීමය. ඔහුගේ බිරියද ඒ පැත්තේ රජයේ පාසලක සුළු සේවිකාවක් ලෙස රැකියාවක නිරතව සිටියාය.

බිරියට පාසලක සුළු සේවක රැකියාවත් මෙන්ම රෝහල් සුළු සේවක රැකියාව සිඟිතිට ලැබෙන්නේ දේශපාලන බල පුළුවන්කරකම් ඔස්සේය. එකී දේශපාලන හයියෙන් සිඟිති කුලියාපිටිය නගර සභාවටද තරග කළේය. ඒ අන්තිමට පැවති පළාත් පාලන මැතිවරණයේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔහු තරග කරනු ලබන්නේ පළාතේ දේශපාලන බලවතෙකුගේ ආශීර්වාදයෙනි. සුසීගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පවා මේ වන විට චෝදනා එල්ලවී ඇත්තේ එකී දේශපාලනඥයාටය.

සිඟිති කසිප්පු පෙරන අතරතුර වස්සාවුල්ලේ චීන අවන්හලක්ද කරගෙන ගියේය. ඒ අවුරුදු දහයකට දොළහකට පෙරය. සිඟිතිට සුසී හමුවි ඇතැයි පැවසෙන්නේ වසරකට දෙකකට පෙරය. ඒ වන විට විවාහකයෙන් වූ සුසීට දරුවෙක්ද සිට ඇත. නිසි රැකියාවක් නොමැතිව කල්ගෙවූ සුසී එකල මත්කුඩු භාවිතයටද තදින්ම ඇබ්බැහි වී සිටි බවද කියැවේ. එහෙත් දැන් ඔහු ඒ සියල්ල අත්හැර යහපත් ලෙස දිවි ගෙවමින් සිට ඇති බව ඔහුගේ සමීපතයෝ පවසති.

සුසීගේ පවුල් ජීවිතය මේ වන විට ඇත්තේ කැඩී බිදී සීසීකට විසිරී ගොසිනි. ඊට නිශ්චිත හේතුවක් පැහැදිලි නැතත් සිඟිතිගේ දියණිය සමඟ පෙමින් වෙලී ඇත්තේ බිරිය ඔහුව අත්හැර ගිය පසුවය. ඊට පෙර සුසී අනියම් ඇසුරක්ද පවත්වා ඇති බවට තොරතුරු නැතුවාම නොවේ. ඒ සිඟිතිගේ පවුලේ සමීපතමයෙක් සමඟිනි. කසිප්පු පෙරීමේ ජාවාරමේ හවුල්කරුවෙක් ලෙස සිගිති විසින් තබාගත් සුසීව පන්නා ගන්නේ එකී අනියම් ඇසුර ගැන සිඟිතිගේ කනවැකීම හේතුවෙනි.

සිගිතිගේ දියණිය හා ඔහු පෙමින් වෙළෙන්නේ යැයි පැවසෙන්නේ අනතුරුවය. මඟ තොටේදී මුණ ගැසී පෙම්බස් දෙඩිල්ල හෝටල් කාමරයේ තනිවීම දක්වා දුරදිග යන්නේ විවාහකයෙක් වූ සුසී අතින් සිඟිතිගේ දියණිය ගැබිණියක් බවට පත්වෙමිනි. එය සිඟිතිගේ පවුලේ උදවිය දැනගන්නා විට කුසට මාස දෙකකට වැඩිය. ඇගේ කුසට ඔහු එසේ දරුවෙන් දී ඒ වන විට තවත් තරුණියක් සමඟ පෙමින් වෙලි සිටි බවට තොරතුරුද පොලීසිය වෙත ලැබී ඇත්තේ ඔහුගේ අතුරුදන්වීම ගැන කෙරමින් පවතින විමර්ශනවලිනි.

ඒ වන විට සිය ව්‍යාපාරික මිතුරෙකුගේ උදව් උපකාර මත සුසී වෙරළුගම හරියෙන් කඩකාමරයක් කුලියට ගන්නේ කොත්තු රයිස් කඩයක් වෙනුවෙනි. එහි සේවයට ඔහු බඳවා ගන්නේ අඹන්පොල පැත්තේ අයෙක් වූ අකිල සුපුන්ය. කොත්තු කඩේ විවෘත කිරීමට සැලසුම්කර තිබුණේ 23 වෙනිදාටය. ඒ වෙනුවෙන් සුසී ඒ දිනවල සිටියේ වැඩ ගොඩගැසීය. තමාව මුණ ගැසීමට පැමිණෙන්නැයි කියා සිගිතිගෙන් දුරකතන ඇමතුමක් සුසීට ලැබෙන්නේ ඔය අතරතුරදීය. ඒ පසුගිය අප්‍රේල් 21 වෙනිදාය.

එම ඇමතුමට අනුව සිඟිතිව මුණගැසීමට එදා සවස් කාලයේ සුසී යන්නේ කඩකාමරය ගැනීමට තමාට උදව් උපකාර කළ ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් සමඟිනි. ඒ සිතුම් නැමැති එම ව්‍යාපාරිකයාගේ ජිප් රථයේ නැගීය. වාහන මිලදී ගෙන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටි එම ව්‍යාපාරිකයා ඇතුළු පිරිස වස්සාවුල්ලේ පිහිටි සිඟිතිගේ නි‍ෙවස අසල මාර්ගයේ ජිප් රථය නතරකර සිටියදී සුසී නි‍ෙවස තුළට ගොස් මඳ වේලාවකින් එළියට එන්නේ “ නෑදෑයෝ කට්ටියක් ඇවිල්ල කියල. හෙට උදේ එන්න කිව්වා.“ යැයි කියාගෙනය.

සිඟිති එදා සුසීට තමාව හමුවීමට නි‍ෙවසට එන්නටයැයි කියන්නේ පොඩි වැඩක් ගැන කතාබහ කරගන්නට ඇතැයි කියමිනි. ඒ කුමක්දැයි දැන ගන්නට සුසීට උනන්දුවක් තිබෙන්නට ඇත්තේ සිඟිති සිය පෙම්වතියගේ පියා වූ නිසා විය හැකිය.

22 වෙනිදා උදෑසනින්ම ලක ලෑස්ති වූ සුසී සිය කොත්තු කඩේ සේවයට එක්ව සිටි අකිල සුපුන් සමඟ යතුරුපැදියේ නැගී ගමන් කරන්නේ සිඟිතිව මුණ ගැසෙන්නටය.

“කඩේට බඩු වගයක් ගන්න තියෙන නිසා මම උදේම බොසාගෙන් සල්ලි ඉල්ලන්න ගියාම බොසා මාව බයික් එකේ දාගෙන උස්සාඋල්ලට ගියා. පාරේ අයිනේ බයික් එක නවත්තල මට විනාඩි 10ක් ඉන්න කියල බොසා ඒ කිට්ටුව තියෙන ගේකට ගියා. පැය භාගයක් විතර ගියත් බොසා ආවේ නැහැ. මම බොසාගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා. ඒ වෙලාවේ ෆෝන් එක තිබ්බේ ඕෆ් කරල. තවත් පැය භාගයක් විතර බලාගෙන හිටියා.ආයිමත් කෝල් එකක් ගත්තා. ෆෝන් එක වැඩ නැහැ. ඒ නිසා මම බොසා ගිය ගෙදරට ගියා. දොරට තට්ටුකළාම ගෑනු කෙනෙක් ආවා. එයාගෙන් ඇහුවා සුසී බොස් කෝ කියල. ඒ වෙලාවේ ඒ ගෑනු කෙනා කිව්වා සුසී ගියා කියල. දැන් ටික වේලාවක් වෙනව කියලත් කිව්වා. ඒ ගෑණු කෙනා කිව්වේ බොරැ. සුසී බොස් එනකම් මම පාරේ හිටියා. බොස් ඇතුළට ගිය බොසා එළියට ආවනම් මම දකිනවනේ“ මේ කතාව කියන්නේ අකිල සුපුන්ය.

සිය බොසාට කරදරයක්දැයි සැකයක් අකිලගේ හිතට දැනෙන්නට ගත්තේය. මේ ගැන කියන්නේ කාටදැයි හිතන විට ඔහුගේ මතකයට එක්වර නැගෙන්නේ සිතුම්ය. අවන්හල දමන්නට සුසීට උදව් දුන්නේ සිතුම්ය. යතුරුපැදිය පණ ගන්වාගෙන වේගයෙන් පදවාගෙන අකිල යන්නේ ඇඹෝවේ පිහිටි සුපුන්ගේ නි‍ෙවසටය. එහි ගොස් සියල්ල සිතුම් හමුවේ කියන්නට වූයේ සුසීට බොහෝ විට එම නිවස තුළදී යම් කරදරයක් සිදුව තිබෙන්නට ඇතැයි සැකයක්ද මතුකරමිනි.

සිතුම්ගේ මතකයට මෙහිදී එක්වරම එන්නේ සුසීත්ගේ සමීප මිතුරෙක් වන බන්දුය. බන්දුට දුරකථන ඇමතුමක් ගත්තේය.

බන්දු සමාජයේ කැපී පෙනෙන චරිතයකි. ඒ නිසාම ගැටුම්වලට මැදිහත්ව පොලීසිවලට මෙන්ම උසාවිවල පවා බන්දුගේ නම ලියැවී ඇත්තේය. එදා දවසේත් බන්දු සිටියේ උසාවියේය. ඒ ගැටුමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනී සිටින්නටය. ඒ පැමිණි ඔහු බත්පත අතට ගෙන එය කටට දාගන්න පවා ඉඩක් නොලැබුණේය. ඒ සුසීගේ අතුරුදන්වීම ගැන කියන්නට සිතුම්ගෙන් ඒ දුරකතන ඇමතුම ලැබෙන්නට වූ බැවිනි.

“ පොලිසිය මට කියල තියෙනවා ආයිමත් වලිවලට යන්න එපා කියල. එහෙම උනොත් ඇප නැතිවෙන්න හිරේ දානව කිව්වා. ඒ නිසා සුසියාගේ අම්මට කියපන් පොලීසියට පැමිණිල්ලක් දාන්න කියල. අපි ඊට පස්සේ බලමු මොනවද කරන්නේ කියල. “ යැයි බන්දුගෙන් එහිදී උපදෙසක් ලැබෙන්නේ නීතිය අතට ගන්නට ගියහොත් ලැබෙන ඵල විපාක ගැන හොදින් දැන සිටි බැවිනි.

සුසීගේ අතුරුදන්වීම ගැන කුලියාපිටිය පොලිසියේ එදින සවස පැමිණිල්ලක් ලියැවෙන්නේ ඒත් සමඟිනි. එම පැමිණිල්ල පොලිසියේ සටහන් කරනු ලබන්නේ සුසීගේ මවය. ඇය ඉන්ද්‍රානි විජේතිලකය. ඒත් සමඟම කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත්ගේ මෙහෙයැවීමෙන් පොලිස් කණ්ඩායමක් පිටත්ව යන්නේ සිඟිතිගේ නිවසටය. ඒ වන විට සිඟිතිගේ නිවස තිබෙන්නේ වසා දමාය.

පොලීසිය සමඟ සිගිතිගේ පවුලේ උදවිය මෙන්ම මිතුරන් කිහිප දෙනෙක්ද ගොස් තිබුණේය. අවට නිවාසවලින් කළ විපරම් කිරීමකදී අනාවරණය වන්නේ සැකකටයුතු වාහන දෙකක් එදින සිඟිතිගේ ගෙවල් පැත්තේ තිබුණු බවය. ඒ එකක් මෝටර් රථයකි. අනික වෑන් රථයකි. උදෑසන කාලයේදී එම මෝටර් රථය වේගයෙන් පිරිසක් සමඟ ගමන් කළ බවට තොරතුරුද එහිදී පොලිසියට දැනගන්නට ලැබුණේය. අනෙත් වාහනය වෑන් රථයකි. සිඟිතිගේ නිවෙසේ දොර ජනෙල් වැසී සියලු දෙනා අතුරුදන්වන්නේ එම වෑන් රථයේ නැගීය. අසල්වැසියන්ට පවසන්නේ සිය පුතාට බෙහෙත් බදින්න කුරුණෑගල යනවා යැයි කියාය.

සිඟිතිගේ නැඟණිය ඇගේ සැමියා සමඟ පදිංචිව සිටියේ ඒ කිට්ටුව පාතක නිවසකය. ඒ වන විට ඔවුන්ද ගේ දොර වසා දමා අතුරුදන්ව සිටින බව පොලිස් නිලධාරීන්ට පෙනී ගියේය. සිඟිති අතුරුදන් වන්නේ සිය බිරිඳත් 17 හැවිරිදි දියණියත් අවුරුදු 12 සහ 08ක් වයසැති පිරිමි දරුවන් දෙදෙනාත් සමගිනි. ඔවුන් කොහේ ගියේදැයි කියා ඒ වන විටත් කිසිවෙකුත් දැන සිටියේ නැත. සුසී ගැන පවා කිසිදු තොරතුරක් නොවීය. සුසීගේ දුරකතනය පවා උදෑසන සිට තිබෙන්නේ ක්‍රියාවිරහිතවය.

ඔය අතරතුර සිඟිතිගේ දුරකථනයට බන්දු කිහිප විටක්ම ඇමතුම් ගත්තේය. ඒ එක් ඇමතුමකට සිගිති ප්‍රතිචාර දැක්වූවේය.

“සුසී එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බද?“ බන්දු විමසුවේය.

“නැහැ.ඇයි“ සිඟිති කීවේය.

“සුසී උදේ ගෙදර ආවද?“ යැයි බන්දු ඇසුවේය.

“ඔව්. මම චයිනීස් රෙස්ටුරන්ට් එකක් ආපහු දාන්නයි හදන්නේ. සුසීගෙන් උදව්වක් ඕනේ උනා. ඒ ගැන කථාකරගන්න එන්න කිව්ව. ඌ ඇවිල්ල ඉක්මනින්ම ගියා. ඩියෝ බයික් එකකින් ආවේ. බයිසිකලේ එනකොට බැටරි බැස්සත් කිව්වා. තවත් එකෙක් එක්ක ඇවිල්ල හිටියේ. ඌත් එක්කමයි ගියේ“ අහන්නත් කළින් ගොඩක් දේවල් කියා සිඟිති දුරකථනය විසන්ධි කළේය.

සිඟිති ඒ කිව්වේ පට්ටපල් බොරුවක් බව බන්දු ඒ වන විටත් දැන සිටියේය. සුසීට යම් අනතුරක් සිදුව ඇති බව බන්දුට හොඳින්ම දැනුණේය. බන්දු ඒ බව තමා දන්නා කියන පොලිසියේ මහත්වරුන්ටද කීවේය.

ඒ වන විටත් කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් ඇතුළු නිලධාරීන් විමර්ශන පවත්වන්ට යෙදුනේ සිඟිතිගේ නි‍ෙවස තුළදී සුසීට යම් අනතුරක් සිදුව සිදුව ඇතැයි යන සැකය පදනම් කරගෙනය. ඒ නිසාම කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කරමින් අපරාධමය සිදුවීමක් ලෙස සුසීගේ අතුරුදන්වීම ගැන විමර්ශන පැවැත්වීමට වජිර ඉන්ද්‍රජිත් සිය නිලධාරීන්ව මෙහෙයවන්නට ගත්තේය. සිඟිති සහ ඔහුගේ මස්සිනා පදිංචි නිවාස දෙකම මෙන්ම වතුපිටි පවා සියුම් ලෙස පරීක්ෂා කරන්නට වූයේ ඒ අනුවය. අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මෙන්ම ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් කැඳවා ලොකු විමර්ශනයක් සිදුකළද සැකකටයුතු කිසිවක් එම නිවාස දෙකෙන් සොයා ගන්නට නොවීය. ඔය අතරතුර පොලිස් නිල සුනඛයින්ද ගෙන්වා සුසීගේ ඉව ඔස්සේ හැම අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂාකරන්නට වූයේ සුසීව මරා වළදමා හෝ වැසිකිළි වලකටවත් දමා තිබේදැයි සොයාය.

මේ අතර 23 වෙනිදා සවස සිඟිතිගේ මහගෙදර අසල සුසීගේ පවුලේ උදවිය ඇතුළු පිරිසක් රැස්වී සිටින්නට වූයේ සිඟිතිගේ මවුපියන්ට දොස් නගමිනි. එතැන ඒ වන විට තිබෙන්නේ කලහකාරී තත්ත්වයකි. ඒ අතර දුරකතන ඇමතුමක් සිගිතිගෙන් ලැබෙන්නේ බන්දුලටය.

“බලු වැඩ කරන්න එපා. “ බන්දුල කතාව පටන්ගන්නේ එසේය.

“තාත්ත කෙනෙක් හැටියට දුව වෙනුවෙන් මම සාධාරණයක් කළා“ සිඟිති කියන්නට ගත්තේය.

“හැම දෙයක්ම ඉවරයි. අපේ මහගෙදර ගාවට ගිහින් අම්මටයි තාත්තටයි කරදරකරන උන්වත් මරාගෙනයි මේ හැම දෙයක්ම ඉවර කරන්නේ.“ යැයිද එහිදී සිඟිති කියන්නට වූයේ ඒ වන විට ඔහුගේ මහගෙදර ඉදිරිපිට රැස්වූ විශාල පිරිසක් කලහාකාරී ලෙස හැසිරෙන බව දැනගෙනය. සිඟිතිට ඒ ගැන තොරතුරු ලැබී තිබුණේ කොහෙන්දැයි කියා බන්දුල අසන්නට ගියේ නැත. එහෙත් යම් දෙයක් බන්දුලට දැනුනේය. ඒ සුසීගේ ජීවිතයට යම් අනතුරක් වී ඇති බවය.

මේ හැම දෙයක්ම ඔස්සේ පොලිස් විමර්ශන සිදුවන අතර තුර එදා සුසී අතුරුදන්වන විට සිඟිතිගේ ගෙවත්තේ තිබුණේ යැයි කියැවුණු මෝටර් රථය පස්සේ පන්නන්නට ගත්තේ ආරක්ෂක කැමරා ඔස්සේය. එහිදී රතු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක අංකයක් සොයා ගන්නා විමර්ශකයන් එහි හිමිකරු කවුරුන්දැයි සොයා බැලුවෝය. මෝටර් රථය කුලියාපිටිය අස්වැද්මේ ඇති වාහන කුලියට ලබාදෙන ස්ථානයකට අයත් එකක් බව අනාවරණය වන්නේ එවිටය.

ඒ තැනට ගොස් කළ පරීක්ෂාවකදී හෙළි වන්නේ UP -CAP 9097 අංකය දරණ ඇල්ටො වර්ගයේ එම මෝටර් රථය අප්‍රේල් 21 වෙනිදා සිඟිතිගේ මස්සිනා විසින් කුලී පදනම මත ලබාගෙන ඇති බවය. සිඟිතිගේ නැගණියගේ සැමියා වන ඔහු චාරුක දේවින්දය. සිය බිරිය සමඟ මේ වන විට ඔහුත් සිටින්නේ ගේ දොර අතහැර අතුරුදන්වය. දින දෙකක් සඳහා කුලියට ලබාගත් මෙම මෝටර් රථය 22 වෙනිදා නැවතත් ගෙනවිත් භාරදෙන්නේ සවස් කාලයේදීය. එම රථය බාරදී නැවත ඔහු දිනක කුලියකට ලබාගන්නේ එව්රි වර්ගයේ කුඩා වෑන් රථයකි. NW-PK 0125 අංකය දරණ එම වෑන් රථය සිල්ව පැහැති එකකි. එදා සුසී අතුරුදන්වූ දි සවස සිඟීති සිය පවුලේ සාමාජිකයන් සමඟ ගේ දොර වසා දමා පළාගියේ යැයි කියැවෙන්නට වූයේ එම වෑන් රථයේ නැඟීය.

මෙම වාහන කුලී ආයතනයේ ඇති සෑම වාහනයකම එම වාහනය ඇති ස්ථානය හදුනා ගැනීමට හැකි ආකාරයට ජී.පී.එස්. සවිකර ඇතත් මෙම වාහන දෙකේ පමණක් එම ජී.පී.එස්. උපකරණ සවිකර නොතිබීම ගැන පවා සුසීගේ අතුරුදන්වීම ගැන විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමට ඇතිවී තිබෙන්නේ දැඩි සැකයකි. ඒ අතරින් ඇල්ටෝ වාහනයේ ඊට පෙර ජී.පී.එස්. සවිකර තීබී ඇති බවටද තොරතුරු ලැබී ඇත්තේ එම වාහනය මෙම සිදුවීමට පෙර පරිහරණය කළ උදවියගෙනි. විමර්ශකයන්ට දැන් පැහැදිලි සැකයක් මතුවී ඇත්තේ සුසීගේ අතුරුදන් වීම සැලසුම්සහගතව සිදුවූ අපරාධමය ක්‍රියාවලියක් බවය.

ඒ ගැන මාධ්‍ය තුළින් තොරතුරු ප්‍රචාරය වෙමින් දේශපාලනඥයාගේ නම ඊට ඈඳෙන විට එකී දේශපාලනඥයා ඔහු දන්නා කියන උදවියට පවසා ඇත්තේ තමා ඒ ගැන කිසිදෙයක් නොදන්නා බවය. එදා 21 වෙනිදා මෙන්ම 22 වෙනිදාද සිඟිති තමාට දුරකතන ඇමතුම් දෙමින් සිය දියණියට වූ අපරාධය ගැන පවසමින් ඊට පළිගන්නා බව කී බව ද එම දේශපාලනඥයා පවසයි. කලබල නොවී පොලිසියට ගොස් ප්‍රශ්නය විසඳා ගන්නැයි තමා සිඟිතිට උපදෙස් දුන් බවද ඔහු කියා ඇත. ඊට සිඟිතිගෙන් පිළිතුරු ලැබුණේ යැයි කියැවෙන්නේ “මගේ දුවට අපරාධය කළ එකාට විරුද්ධව නඩු අහන්නෙත් මමයි. දඬුවම් දෙන්නෙත් මමයි“ යනුවෙනි. ඒ හැරුණු කොට තමා කිසිවක් නොදන්නා බව ඔහු කියන්නේ එදා තමා සිය නි‍ෙවසේ පවා නොසිටි බව කියමිනි.

සාක්ෂි විනාශ කරමින් සිදුකළ සුසීගේ අතුරුදන්කරවීම ගැන විමර්ශන පවත්වන වජිර ඉන්ද්‍රජිත් ඇතුළු විමර්ශන නිලධාරීන් සුසීට කුමක් සිදුවීදැයි පැහැදිලිවම හෙළිකර ගැනීමට දැඩි වෙහෙසක් මේ වන විට ගනිමින් සිටින්නේ විද්‍යාත්මක සාක්ෂි පෙරටුකරගෙනය. එහිදී සිඟිතිගේ ජංගම දුරකතන අංකය හෝඩුවාවල් රැසක් විමර්ශන නිලධාරීන්ට ලබාදි හමාරය. ඒ ඔස්සේ මෙම අපරාධයට සම්බන්ධ දෙදෙනෙක් හදුනාගත් විමර්ශන නිලධාරීන් වැලිමඩ කැප්පැටිපොලින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නේ පසුගිය 30 වෙනිදාය. ඔවුන් දෙදෙනා වඩු කාර්මිකයන්ය. කාලයක් මාදම්පේ පැත්තේ පිහිටි වඩු මඩුවක වැඩ කළ ඔවුන් සිඟිතිව දැන හදුනාගෙන ඇත්තේ මිතුරෙකුගේ මාර්ගයෙනි. සිඟිතිගේ නිවසේ ද වඩු වැඩකර හිතවත්කම් වර්ධනය කරගෙන සිටි ඔවුන් දෙදෙනා සුසී අතුරුදන් කිරීමට සම්බන්ධවී සිටි බව හෙළිවන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීමේදීය.

එම වඩු කාර්මිකයන් විසින් කළ හෙළිදරව්වලට අනුව සිඟිතිගේ නිවසට ගෙන්වාගත් සුසීට පහරකිහිපයක් සිඟිති එල්ලකර ඇත්තේ සිය දියණියට කළ අපරාධය ගැන කියමිනි. එම සිදුවීම වන විට වඩුකාර්මිකයන් දෙදෙනා සිට ඇත්තේ නි‍ෙවස තුළය. කියැවෙන ආකාරයට අනුව බොහෝ වේලාවක් සුසීව නිවස තුළ තබාගෙන සිට ඇත. සුසීව සොයා අකිල නිවෙසට එන විටත් ඔහු සිට ඇත්තේ ‍නිවෙස තුළය. අඩුම තරමින් සුසී කෑගසාවත් නැත. රෝහල් සේවකයෙක් වන සිඟිති සුසීට මත්වීමට යම් ඖෂධයක් ලබාදී ඔහුව ඒ අවස්ථාවේදී අකර්මණ්‍ය කර තිබුණේදැයි සැකයක්ද විමර්ශන නිලධාරීන්ට ඒත් එක්කම මතුවූවත් එය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නැත. වඩු කාර්මිකයන් පවසන්නේ සුසීව මෝටර් රථයේ නන්වාගෙන එදා දහවල් සිඟිතිගේ මහ ගෙදරට රැගෙන ගිය බවය.

එහි දී ඔහුය ගැටගසා නාන කාමරයේ දමා තමන්ව මෝටර් රථයේ නන්වාගෙන විත් කැප්පැටිපොල යන ලෙස දැනුම් දී කුලියාපිටියෙන් බැස්සවූ බවද වඩුකාර්මිකයෛා් පවසති. සුසීව දේශපාලනඥයෙකුගේ නිවසකට රැගෙන යන බව කී බව පවා ඔවුන් මුලින් කියන්නට විය. සිඟිතිගේ නි‍ෙවසේ සිට සුසීව රැගෙන යන විට මෝටර් රථයේ සිගිතිට අමතරව සිඟිතිගේ මස්සිනාද තමන් සමඟ සිටි බව වඩු කාර්මිකයන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේය. සිඟිතිගේ මහ ගෙදරට සුසීව රැගෙන අතපය බැද නාන කාමරයේ සිරකිරීමෙන් අනතුරුව සිදුවූ දෙයක් දැනගන්නට නැති බව වඩුකාර්මිකයන් දෙදෙනා විමර්ශන නිලධාරීන් හමුවේ පවසන්නට වූයේ හත්පොලේ දිවුරමිනි.

වඩු කාර්මිකයන් දෙදෙනා එසේ කීවත් පොලිස් විමර්ශකයන්ගේ සැකය ඇත්තේ නානකාමරයේ සිරකරගෙන සිටි සුසීව එතැනින් රැගෙන ගොස් අතුරුදන් කිරීම දක්වා සමස්ත ක්‍රියාවලියට ඔවුන් දෙදෙනා සම්බන්ධ බවය. ඒ ගැන වැඩි යමක් දැන ගැනීමට සිඟිතිගේ මවුපියන් අත්අඩංගුවට ගත්තද ඔවුන් දෙදෙනා අඩුම තරමින් සිය නිවසට සිඟිතිව රැගෙන ආ බවක්වත් කියන්නේ නැත. දරදඩු පුද්ගලයින් වූ එම යුවළ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් කිසිදෙයක් නොදන්නා බවකි.

එදා රතු පැහැති ඇල්ටෝ මෝටර් රථය සිඟිතිගේ සහ ඔහුගේ මහ ගෙදර සිට සුසීව රැගෙන ගමන් කළ මාර්ගය ආරක්ෂක කැමරා ඔස්සේ පැන්නීමේ ඉතා වෙහෙසකර විමර්ශනයක් සිදුවන්නේ ඔය අතරතුරදීය. එහිදී පෙනී යන්නේ මෝටර් රථය කුළියාපිටියේ සිට දුම්මලසූරිය පැත්තට ගමන්කර ඇති බවය. ආරක්ෂක කැමරා ගොන්නක්ම පරීක්ෂාකරමින් විමර්ශන නිලධාරීන් විසින් දුම්මලසූරිය දක්වාම ගමන් කළේය. කුලියාපිටියේ සිට කිලෝ මීටර් 15ක් 16ක් පමණ වූ එම දුර මෝටර් රථයකට ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 25කට අඩුය. මෝටර් රථය මාදම්පේ පැත්තට ගමන්කර ඇති බව අනාවරණය වන්නේ දුම්මලසූරියට ගොස් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදීය. දුම්මලසූරිය සහ මාදම්පේ අතර දුර කිලෝමීටර් අට නවයකට වඩා නැත.

විනාඩි 12කින් දුම්මලසූරියේ සිට මාදම්පේ දක්වා මේ දුර මෝටර් රථයකින් ගමන් කළ හැකිය. පනිරෙන්ඩාව හමුවන්නේ දුම්මලසූරිය පසුකර කිලෝ මීටර් දෙක තුනක ගමනකින් පසුවය. මෝටර් රථයකින් ගමන් කිරීමේදී ඒ දුර විනාඩි පහ හයකින් ගමන් කළ හැකිය. පනිරෙන්ඩාවේ සිට මාදම්පේ අතර ඇති දුර කිලෝ මීටර් හයකි. විනාඩි 09කින් මෝටර් රථයකින් ඒ දුර ගමන් කළ හැකිය. මග දෙපස ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් ඉදිරියට ඇඳුණු විමර්ශන නිලධාරීන්ට පෙනී යන්නේ දුම්මලසූරිය හා මාදම්පේ අතර පනිරෙන්ඩාව පසුකර මෝටර් රථය ගමන් කිරීමට පැයකට වැඩි කාලයක් ගතවී ඇති බවය. එම ප්‍රමාදය ගැන කරුණු අධ්‍යයනය කරමින් විශ්ලේෂණය කිරීමේදී විමර්ශන නිලධාරීන්ට පෙනී යන්නේ මනිරෙන්ඩාව රක්ෂිතය පිහිටා ඇත්තේද එම ප්‍රදේශයේ බවය. හෙක්ටයාර් 359ක් පමණ වූ භූමිභාගයකට හිමිකම් කියන එම රක්ෂිතය තුළ තිබී පසුගිය වසරේ ඔක්තෝබර් 26වෙනිදා මිනිස් අස්ථී කොටස් කිහිපයක් ද හමුවී තිබුණි. අදටත් එම මිනිස් අස්ථී කොටස් කාගේදැයි සොයාගෙන නැති පසුබිමක පසුගිය සිකුරාදා මෙම රක්ෂිතය පීරන්නට පොලිස් විමර්ශකයින් පියවර ගනු ලැබුවේ සුසී ගැන යම් හෝඩුවාවක් සොයා ගැනීමේ අපේක්ෂාව ඇතිවය.
ඡායාරූප – කුලියාපිටිය මෙවිරු ධනාන්
ගයාන් කුමාර වීරසිංහ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top