පාසලේදී ගුරුවරුන් ලබාදුන් අවවාදයක් නොරිස්සූ වැල්ලවාය ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් සිය නිවස තුළ දී සාරි පොටක් ආධාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් ඇති පුවතක් පිළිබඳව පසුගියදා වාර්තා වුණා. තවමත් පාසලේ 6වන වසරේ ඉගෙනුම ලැබූ ඇය වැල්ලවාය ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලැබූ දැරියක්.
සිකුරාදා උදැසන පාසලට පැමිණෙන ළමයින්ගේ පොත් බෑග් පරීක්‍ෂා කිරීමේදී දහවන වසරේ ශිෂ්‍යයකුගේ පොත් බෑගයක තිබී ශිෂ්‍යාවක් විසින් ලබාදී තිබූ පෙම් හසුනක් හමුවී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේදී එම ලිපිය ගෙල වැලලාගෙන මියගිය ශිෂ්‍යාව විසින් දුන් ලිපියක් බවට අනාවරණය වී තිබේ.
අනතුරුව එම ශිෂ්‍යාව ඉගෙනුම ලබන පන්තියේ අංශ ප්‍රධානි ගුරුවරයා ඇයව ගෙන්වා අවවාද කොට සඳුදා පාසල් එනවිට අම්මා හෝ තාත්තා සමඟ පැමිණෙන ලෙස ලිපියක් දී ඇත.
පාසල ඇරී නිවසට පැමිණි ශිෂ්‍යාව ඇඳුම් මාරු කර ගැනීමට කාමරයට ගොස් ඇති අතර දියණිය එළියට නොපැමිණීම නිසා දොරට තට්‌ටු කර කතා කළත් කථා නොකිරීම නිසා දොර කඩා බැලීමේදී තම දියණිය සාරියකින් කාමරයේ එල්ලී සිටිනු දැක තිබේ.
පසුව අසල්වැසි කාන්තාවක් සමඟ දැරිය වැල්ලවාය මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරු පවසා තිබේ.
පාසැලේදී අදාල සිද්ධිය සිදුවීමෙන් පසුව ඇය තම මිතුරියන්ට පවසා ඇත්තේ ගෙළ වැළලාගෙන මිය යන බවයි. මෙම දැරියට පාසලේ දී ලබාදුන් අවවාදයක් හේතුවෙන් ඇය දිවි හානිකරගෙන ඇති බවත්, සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.