ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු සහ මෝස්තර නිරූපිකාවකගේ නමින් වට්ස් අප් ගිණුම් විවෘත කර උසස් පෙළ සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට උපකාර කරන බව පවසා, කාන්තාවක් ලෙස වට්ස් අප් පණිවිඩ යොමුකරමින් අදාළ තරුණයා උසස් පෙළ සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවයි විමර්ශන වලදී අනාවරණයවී ඇත්තේ. ඒ අනුව සිසුවියන් 12කගේ නිරුවත් ඡායාරූප ඔහුගේ ලැප්ටොප් පරිඝනකයේ තිබී හමු වී තිබෙනවා.
ජනප්‍රිය නිළියන්ගේ සහ නිරූපිකාවන්ගේ නමින් වට්ස් අප් ගිණුම් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මාධ්‍ය වෙතින් තොරතුරු අනාවරණය වීමත් සමඟ පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.
නිරුවත් ඡායාරූප එවන ලද එක් පාසල් සිසුවියකගේ දර්ශන හා ඡායාරූප සැකකරුගේ පරිගණකයේ තිබී යහළුවකු දැක තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදාළ යහළුවා පාසල් සිසුවියට ඒ පිළිබඳව දැනුම්දීමත් සමඟ ඇය සිය මවුපියන්ට ලිපියක් ලියා සියදිවි නසා ගන්න උත්සාහ කර තිබෙනවා.
එම ලිපියේ මෙසේ සඳහන් වී තිබුණා.
''අම්මේ, තාත්තේ මට ගොඩක් සමාවෙන්න, මේ දේ හිතලා කරපු දෙයක් නෙවෙයි. මොඩ්ලින් කරන්න තිබුණු ආසාව නිසයි මම ෆොටෝ යැව්වේ. අපි වගේ ගොඩක් ගෑණු ළමයි රැවටිලා ඉන්නවා. මේ ගැන ඇත්ත දැනගන්නකොට හැමදේම වෙලා ඉවරයි. අම්මා කියන දේ අහන්නේ නැතුව මෙහෙම කළාට සමාවෙන්න.''
මේ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සැකකරු අද මාළිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත් වරයා නියෝග කළේ සැකකරු මුදල් ඇපමත නිදහස් කිරීමටයි.