77 වන වියේ පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) පස්වරුවේ මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.
80 - 90 දශකයේ චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් එක්වූ වික්ටර් විජයන්ත ප්‍රවීණ ගායන ශිල්පී මායා දමයන්තිගේ ස්වාමි පුරුෂයා වන අතර කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිනී සචිනි නිරාෂා ඔහුගේ දියණියන් දෙදෙනායි.
දේහය පිළිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටෝවාහි දී සිදු කිරීමට නියමිතයි.
ඔහු එක්තරා යුගයක චිත්‍රපට ගීතවලට නැතුවම බැරි ගායකයකු වුණා. ඔහු ලංකාවේ සිටින එකම ෂෙනායි වාදකයා ලෙස ද සැලකෙන්නේ ඔහුයි.
"මමයි රජා" චිත්‍රපටයේ ජීවන් කුමාරණතුංග වෙනුවෙන් "සඳේ ආලෝක ධාරාව මා වේ........." ගීතය ගයමින් සිනමාවට එක්වූ ඔහු වැඩි වශයෙන් තිරයේ ගීත ගැයුවේ ද ජීවන් කුමාරණතුංග වෙනුවෙන්.
"ශක්තිය ඔබයි අම්මේ" චිත්‍රපටයේ ඇන්ජලින් ගුණතිලක සමගින් ඔහු ගැයූ "පාට පාට හීනයක්ද......" ගීතය මෙන්ම "ඔබට රහසක් කියන්නම්" චිත්‍රපටයේ "සඳ මංගල නෞකාවේ....." ගීතය ඔහුගේ සිනමා ගීතාවලියේ කැපීපෙනෙන ගී මතකයන් වෙනවා.
"සිනාසෙන්න රත්තරනේ", "යුක්තියට වැඩ", "වීර උදාර", "චණ්ඩි රජා" වැනි චිත්‍රපට කිහිපයකම පසුබිම් ගී ගැයූ වික්ටර් විජයන්ත "ජුලියට්ගේ භූමිකාව" චිත්‍රපටයේ කුමාරි මුණසිංහ සමගින් "කුරුල්ලෝ පියාඹා ඇවිදින්......." නැමැති ගීයක් ද ගායනා කරනවා.
දේශමාන්‍ය සහ කලාභූෂණ රාජ්‍ය ගෞරව සම්මානවලින් ඔහු පිදුම් ලබා ඇත.
කලාවට ඉමහත් සේවයක් කළ ඔහුට අපි නිවන්සුව පතමු !