භානුක ප්‍රබුද්ධ. ඔබට ඒ නම දැම්මෙත් තාත්තාම වෙන්න ඇති?
අපි අතීතයට යමු. ඔබට තාත්තා ගැන මතකයට එන මුල්ම සිදුවීම මතකද?
ප්‍රාථමික අධ්‍යාපනය ලබන්න මුලින්ම මම ගියේ ඉසිපතනයට. පසුව ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ ආනන්දයට ඇතුළත් වුණා. එදා ඉසිපතනයට යන කාලයේ සිදුවූ සිදුවීමක් මට මතකයි. තාත්තා එතකොට සේවය කළේ මහවැලි කේන්ද්‍රයේ. අපි පදිංචි වෙලා හිටියේ පොල්හේන්ගොඩ. පාසල හමාර වෙන වෙලාවට තාත්තා එයාට ඒ දිනවල තිබුණ මෝටර් සයිකලෙන් තමයි ආවේ. ඒ එන මඟ මට හොඳට මතකයි. කොහොම හරි දවසක් මොකක් හෝ දෙයක් නිසා තාත්තාගේ ප්‍රමාදය හේතුවෙන් මම තනියම පාර පැන පැන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කාලා එහෙම සුපුරුදු විදිහට සෙල්ලම් කරමින් මගේ පාඩුවේ හිටියා. තාත්තා පාසලට ගිහින් මාව හැමතැනකම හොයලා එතැන දෙවනත් කරලා බැරිම තැන ගෙදර ඇවිත්. මම නැති නිසා තාත්තා පුදුම විදිහට බයවෙලා හිටියේ. ඒ බය, කේන්තිය එක්ක එයා මාව දැක්කම මොනවත් කිව්වේ නෑ. කෙළින්ම මුළුතැන්ගෙට ගිහිල්ලා ලුණු මුට්ටිය සහ වීදුරු කීපයක් පොළවේ ගහලා එයාගේ තිබුණු පීඩනය සහ තරහාව නැති කරගත්තා. එදා ඒ සිදුවීම තදින්ම මට දැණුනු දෙයක්. එතකොට මගේ වයස අවුරුදු අටක් විතර ඇති. පස්සෙ තාත්තා බයික් එකේ නැගලා ආයෙත් වැඩට ගියා. මට ඒ සිදුවීම් පෙළ හොඳට මතකයි වගේම තාත්තාව හොඳින්ම දැණුනු මොහොතක්.
එදා තහංචි එහෙමත් පනවලා තිබුණද?
කොහෙත්ම නැහැ. මම, නංගී, අම්මා අපි ඔක්කොම කරන දේ ගැන තාත්තට කියන්න තිබුණේ හොඳ විශ්වාසයක්. ඒ කියන්නේ අපි කුමක්ද තෝරගන්නේ? කුමක්ද කරන්නේ?. ඒ දේ නිවැරදිව කරනවාය යන තදබල විශ්වාසයක් තාත්තට තිබුණා. සාමාන්‍ය පෙළ කරද්දි මම පෙරදිග සංගීතය හැදැරුවා. පසුව උසස් පෙළට ගණිත අංශය තෝරගත්තා. එහෙම කළාය කියලා තාත්තා කිසිවක් මට කිව්වේ නැහැ. යහපත් දැක්මෙන් ඒ දිහා බලා හිටියා.
ඔබ තාත්තාගෙන් දුටු සෙනෙහස හෝ ඊට එහා ගිය විශේෂත්වයක් හැටියට සඳහන් කළ හැකි දෙයක් තියනවද?
තාත්තා කියන චරිතය ගත්තොත් පොදුවේ අපි හැමෝටම ඒ චරිතය වෙතින් ලැබෙන දේ මම හිතන්නේ එක හා සමානයි. තාත්තා කියන චරිතය එහෙමනේ. හැබැයි අපේ තාත්තා වෙතින් ඊට එහා ගිය දෙයක් මම දුටුවේ නම්? එකක් තමයි තාත්තාට තිබුණු පුදුමාකාර වූ ඉවසීම. ඊළඟට තාත්තාගේ අධිෂ්ඨාන ශක්තිය. තාත්තා එයාගේ පශ්චාත් උපාධිය කළේ අවුරුදු 55 වගේ වයසේදීයි. අනෙකුත් වැඩ තිබුණේය කියලා තාත්තා ඒ වැඩේ නතර කළේ නැහැ. එයාගේ අරමුණට යන්න වයස ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. පොතපත පරිශීලනය කියන දේ තාත්තා ඉතාම ඇල්මෙන් කළ දෙයක්. පසුකාලීනය තාත්තාගේ නිර්මාණ කාර්යය වෙනුවෙන් ඉංග්‍රීසි සාහිත්‍ය හා ඒ හා බැඳුණූ පොත් පරිශීලනයේදී ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න තාත්තා ඕනෑ වුණා. මට මතක විදිහට ඒ වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න පුද්ගලිකව ගුරුවරයෙක් ළඟට ගියා. ඊළඟට මා දකින තුන්වන කාරණය වන්නේ තාත්තට තිබුණු සුබවාදී ආකල්ප හා දැක්ම. සිදුවන දේ, සිද්ධ විය හැකි දේ ආදී සියල්ල ගැන තිබුණේ සුබවාදී ආකල්පයක්. ශල්‍යකර්මයට භාජනය වී සිටියදී තාත්තා මරණයේ රමණීයත්වය ගැන කවි පෙළක් පවා රචනා කළා. මරණය වුණත් එයා දුටුවේ සුබවාදීවයි. ඒක හරි පුදුමාකාර දෙයක්. ඒක ජීවිතාවබෝධය වෙන්නැති. එදා මම තාත්තාගෙන් ඉගෙන ගත්ත මේ විශේෂිත කාරණා ත්‍රිත්වය මට මගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට බෙහෙවින් පාදක වේවී. ජීවිතයේ විවිධ විෂයන් වෙතින් උපයා ගත් දේ එක්ක යථාර්තයෙන් ජීවිතය දිහා බලන දැක්ම තාත්තාට තිබුණ දෙයක්.
දෙදෙනා අතර තිබුණ බැඳීම මොන වගේද?
ලංකාවෙන් පිටත්ව ඕස්ට්‍රේලියාවට මම ගියේ 2007 දී. මගේ නික්ම යාම තාත්තාට දුකක් ගෙන දෙන්න ඇති. ඒත් කවදාවත් මම හේතුවක්, අරමුණක් නැතුව තීරණයක් නොගන්නා බව තාත්තා දැනගෙන හිටියා. ඒ නිසා තාත්තා, අම්මා, නංගි වගේම මගේ බිරිඳ හා එයාගේ අම්මා තාත්තා හැමෝම මට ඒ තීරණය ගැනීමේදී උදව් වුණා. මාත් ඒ තීරණය ගත්තේ සතියකින් දෙකකින් හිතලා නෙවෙයි.
ඒ කියන්නේ ඔබට ඒ වගේ අවස්ථාවලදී තාත්තගෙන් ලද ආභාසය ඉවහල් වෙන්නැති?
ඒක හරි. ඒ විතරක් නෙවෙයි, එදා ඒ ගමන සාර්ථක කරගන්න තාත්තා ඕස්ට්‍රේලියාවේ හිටපු එයාගේ යාළුවන්ට පවා කතා කරලා පුදුමාකාර විදිහට උදව් කළා. ඒ හැර මා ගත් තීරණ වෙනස් කරන්න උත්සහ කළේ නැහැ. ඒ අරමුණු සඵල කරගන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නා. මම ජීවිතයේ යම් විෂයක් ගැන දැනෙන්න හොයන්න පටන් ගත්තේ සාමාන්‍ය පෙළින් පසුවයි අන්න එතකොට හොඳ දේ නරඹන්න, කියවන්න, දැකගන්න පුරුදු කළා. හැබැයි අර ෆිල්ම් නරකයි, ඒක බලන්න එපා කියලා තහංචි දැම්මේ නෑ. තාත්තා වුණත් තරුණයින්ගේ නිර්මාණවල සිට ඕනෑම කෙනෙක්ගේ නිර්මාණ බැලුවා. ඒ වගේම අපි දෙන්නට තිබුණේ කරට අත දාගෙන ඇසුරු කරන පිය පුතු මිත්‍රත්වයක් නෙවෙයි. ඊට එහා ගිය විශ්වාසනීයත්වයෙන් වූ බැඳීමක්. එක්කෝ එදිනෙදා වෙච්ච දේ නැරඹූ දේ, නිර්මාණ, ඒවායේ ගුණදොස් ගැන අපි කතා කළ විදිය ටිකක් වෙනස්.
භානුක, රටින් පිටවෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචියට පිටත් වූ මුල් දවසේ තාත්තාගේ හැසිරීම මොන වගේද?
ඕනෑම තාත්තා කෙනෙකුට තමාගේ දරුවන් ඒ විදිහට දුරස්වීම දුකක්නේ. අපේ තාත්තාටත්, ඒ දුක දැණුනා සහ හැඟුණා. එදා මුල්ම වතාවේ රටින් පිටව යද්දි මාව ඇරලවන්න තාත්තා ආවා. කොච්චර හැඟුම් තදකරගෙන හිටියත් අන්තිම මොහොතේ දෙනෙතින් කඳුළු රූරා වැටිච්ච හැටි මට අදත් මතකයි. ඉන්පසුව මසකට හෝ කාලයකට ලංකාවට ඇවිත් ආපහු පිටත්වන මොහොතේදී එය ඒ විදිහටම වුණා. කොච්චර ශක්තිමත්ව සිටියත් හැඟීම් පුපුරා ගිය අවස්ථා ඒ විදිහයි. මම ඇවිත් සිටි කෙටි කාලවලදී, අපි නිර්මාණ නරඹන්න ගියා, බොහෝ දේ ගැන කතා කළා. අසනීපව සිටියදීත් තාත්තා, අසීරු ප්‍රයත්නයක් දාලා මා වෙනුවෙන්ම හඬ නිහඬ දර්ශනයක් සංවිධානය කළා. අන්න ඒ වගේ බැඳීම් අපට තිබුණෙ.