අත්ලාන්තික් සාගරයට අලුතින්ම එකතු වූ යුරෝපයේ පළමුවන දිය යට ප්‍රතිමා උද්‍යානය පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා.
මෙම උද්‍යානයත් ග්‍රෙනෙඩා උද්‍යානය හා මෙක්සිකෝවේ දිය යට උද්‍යානය නිර්මාණය කළ නිර්මාණකරුගේම තවත් උත්සාහයක්.
Jason deCaires Taylor නම් මෙම බ්‍රිතාන්‍ය ජාතික මූර්ති ශිල්පියාගේ ග්‍රෙනෙඩා වල පිහිටි උද්‍යානය National Geographic සඟරාවේ ලොව පුදුම 25 සඳහා ද ඇතුළත් වුණා.
යුරෝපයේ පළමු දිය යට ප්‍රතිමා උද්‍යානය ලෙස හඳුන්වනු ලබන මෙම උද්‍යානය Museo Atlantico ලෙසින් නම් කර තිබෙනවා.
ස්පාඤ්ඤයට අයත් දූපත් සමූහයක් වන කැනරි දූපත් වලට අයත් දූපතක් වන Lanzarote දූපතේ පිහිටා තිබෙන මෙම උද්‍යානය සම්පූර්ණයෙන්ම සාදා නිම කිරීමට ගතවී ඇති කාලය වසර තුනක්.
මිට දින කිහිපයකට පෙර විවෘතවූ මෙහි ජීව ප්‍රමාණයේ මානව රූප 300ක් කිමිදුම්කරුවන් පැමිණ ඔවුන්ව නරඹන තෙක් බලාගෙන තිබෙනවා.
ලැන්සරෝට් දූපතෙහි Bahia de Las Coloradas නම් වෙරළේ සිට තරමක් ඈතට වන්නට අඩි 39ක් ගැඹුරට වන්නට මුහුදු පතුලේ මෙම ප්‍රතිමා ස්ථානගත කර තිබෙනවා.
මෙම ප්‍රතිමා නිකම්ම නිකම් කොන්ක්‍රීට් ප්‍රතිමා නොවෙන බවත් සඳහන් වනවා. අප්‍රිකාවට කිලෝමීටර් 125 පමණ ඈතින් තිබෙන මෙම කැනරි දූපත් වලට ස්පාඤ්ඤ ජාතිකයන් පැමිණීමට ප්‍රථම මෙහි විසූ Guanches නම් ජනයාව බොහෝ ප්‍රතිමා මගින් දක්වා තිබෙනවා.
මෙම ජනයා ගුහා වාසී ඇබෝර්ජින් ජනයාගේ සාමාජිකයන් බවද සඳහන් . මීට අමතරව ලැන්සරෝට් හි අවට ජීවත් වන දේශීය ජනයාවද ප්‍රතිමා සඳහා සම්බන්ධ කර ඇති අතර එම පුද්ගලයන්ගේ මුහුණු වලින් අච්චු සාදා එමඟින් අවට ප්‍රදේශ වාසීන්ගේ හැඩරුව ඇති ප්‍රතිමාද මේ අතර නිර්මාණය කර තිබෙනවා. The Raft of Lampedusa නම් නිර්මාණය මඟින් ඉතාලි දූපත් ආශ්‍රිතව සිදුවන සරණාගතයන් බෝට්ටු මඟින් පැමිණීමේ අර්බුදය හුවා දක්වා තිබෙන්නේ ලෝකයේම අවධානය ඒ වෙත ලබා ගැනීමටයි.
pH අගය උදාසීන අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම ප්‍රතිමා නිර්මාණය කර තිබෙන්නේ සාගර ජීවීන්ට කිසිඳු හානියක් සිදු නොවීමටයි. එසේම වසර සිය ගණනක් නොනැසී පැවතීමේ හැකියාවද මෙම ප්‍රතිමාවලට තිබෙනවා. මානව රූප හා විකාර රූපී ප්‍රතිමා හැරුණුවිට ටොන් 100ක් බර අඩි 90ක් දිග බිත්තියක් වැනි ව්‍යුහයක්ද, මල් වල ප්‍රතිමා සහිත උද්භිද උද්‍යානයක් වැනි කොටසක්ද මෙහි නිර්මාණය කර තිබෙනවා.
ඊට අමතරව ඇඹරී තිබෙන පතොක් පඳුරු ලෙසත් කොන්ක්‍රීට් නිර්මාණ මෙයට එකතු කර තිබෙන්නේ බූවල්ලන්, මුහුදු ඉකිරි හා මාළු පැටවුන් හට ආරක්ෂා සහිතව සිටීමට වාසස්ථානයක් ලෙස මේවා භාවිතා කළ හැකි නිසායි.